හේලීස් ෆැබ්රික් ගෝලීය උණුසුම 1.5°C කට සීමා කිරීමේ ගෝලීය SBT වැඩසටහන සඳහා කැප වෙයි

රෙදිපිළි නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම, හරිතාගාර වායු (GHG) විමෝචනය අවම කිරීමට සහ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5°C කට සීමා කිරීම සඳහා ගෝලීය SBT  වැඩසටහනට (SBTi) කැපවූ ලොව ප‍්‍රධාන සමාගම් අතරට සිය නාමය ද එක් කළ ශ්‍රී ලංකාවේ පළමු රෙදිපිළි නිෂ්පාදන සමාගම මෙන්ම මෙරට සිව්වන දේශීය නිෂ්පාදන සමාගම බවට පත්ව ඇතැයි පවසයි.

SBTi යනු CDP Worldwide, World Resources Institute (WRI), ජගත් සොබාදහම සුරැකීමේ අරමුද (WWF) සහ United Nations Global Compact (UNGC) අතර සහයෝගීතාවයේ ප‍්‍රතිඵලයකි. ‘We Mean Business Coalition’s Take Action’ නමින් වන දේශගුණික විපර්යාස පිළිබඳ වේදිකාවේ කොටසක් ලෙස සමාගම් විසින් සිය කැපවීම ලබා දෙන පිළිගත් ගෝලීය වැඩසටහනකි.

එපමණක් නොව, පැරිස් ගිවිසුමේ ඉලක්කවලට අනුකූලව ගෝලීය උෂ්ණත්වය ඉහල යෑම සීමාකරමින් සෙල්සියස් අංශක 1.5°C සහ 2°C වඩා අඩු මට්ටමක තබා ගැනීමට සමාගමක් එහි හරිතාගාර වායු විමෝචනය කෙතරම් ප‍්‍රමාණයකින් හා කෙතරම් ඉක්මනින් අඩු කළ යුතු ද යන්න SBTi තීරණය කරයි. එමෙන්මල මෙය 2050 වන විට ශුද්ධ හරිතාගාර වායු විමෝචනය 100%කින් අඩු කිරීමට ගන්නා ප‍්‍රයත්නයේ කොටසක් ද වෙයි.

නවෝත්පාදනයන්, අපද්‍රව්‍ය අවම කිරීම, කාර්යක්ෂමතාව වර්ධනය සහ නියාමන අවදානම, අවිනිශ්චිතතාව හා බලශක්ති පිරිවැය අස්ථාවරත්වයට නිරාවරණය වීම අඩු කරන අතරතුර ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි කිරීම යනාදිය තුළින් සමාගම මෙම ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරනු ඇත. SBTi සඳහා වන කැපවීම සමාගම විසින් දැනටමත් සිදු කර ඇති යහපත් පාරිසරික තිරසාර පියවරයන් තහවුරු කිරීමට උපකාරී වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හේලීස් ෆැබ්රික් හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, රොහාන් ගුණතිලක මහතා ‘‘කාබන් විමෝචනය අඩු කිරීමට අප සෑම කෙනෙක්ම පියවර ගැනීම අත්‍යවශ්‍ය වන අතරම, වඩාත් වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේදී සමාගම් අර්ථවත් ක‍්‍රියාමාර්ග ගැනීමයි. SBTi සඳහා අපගේ කැපවීමත් සමඟ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සිදුකරන ගෝලීය සටනට ලොව පුරා විසිර සිටින ප‍්‍රමුඛ පෙළේ සංවිධාන සමඟ නිල වශයෙන් එක් වීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා වගේම, ඉදිරි දශක තුන තුළ අපගේ හරිතාගාර වායු විමෝචනය අවම කරමින් ශුන්‍ය තත්වයට පත් කිරීමට මෙම ප‍්‍රබල ගෝලීය වැඩසටහන යටතේ කැපවෙනවා. යනුවෙන් පැවසුවේය.

‘‘රෙදිපිළි නිෂ්පාදනයේ විශ්වසදායී ප‍්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස අප මෙය සලකන්නේ පාරිභෝගිකයින්ට තිරසාර වෙළෙඳ නාම වෙත යාමට අපගේ නිෂ්පාදනයන්ට තරගකාරී වාසියක් ලබා දෙන සහ ශ්‍රී ලාංකික ව්‍යාපාර සමාගම් අතර පාරිසරික තිරසාරභාවය සඳහා නව ප‍්‍රමිතීන් ස්ථාපිත කිරීමට ද උපකාරී වන අවස්ථාවක් ලෙසයි,’’ හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

සිය කැපවීම් හි කොටසක් ලෙස දිරාපත් වීම සඳහා වසර20-200 ත් අතර කාලයක් ගත වන වර්ජින් පොලියෙස්ටර් නිෂ්පාදනය විශාල වශයෙන් අඩු කරමින් සමාගම විසින් ඉවත ලන PET බෝතල් ශ‍්‍රී ලංකාවේ වෙරළ තීරයෙන් එකතු කර පොලියෙස්ටර් නූල් ව්‍යාපාරය සංවර්ධනය කරමින් සිටී. එමෙන්ම හේලීස් ෆැබ්රික් සමාගම තවදුරටත් පොලියෙස්ටර් හි පාරිසරික බලපෑම අවම කිරීමට නව්‍ය විසඳුම් සෙවීම සඳහා හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් ද කටයුතු කරයි.

‘අවම කිරීම, නැවත පාවිච්චි කිරීම, ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීම’ සඳහා සමාගම සහය දක්වන අතර ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා PET බෝතල් එකතු කිරීමට සේවකයින් දිරිමත් කරයි. සිය කර්මාන්තශාලා පරිශ‍්‍රය තුළ එකතු කිරීමේ බඳුන් තැබීමට අමතරව, ප්ලාස්ටික් දුෂණය පිළිබඳව සේවකයින් දැනුවත් කිරීම සඳහා සමාගම විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් ද පවත්වන ලදී.

මෙහිදී රෙදි රෝල් සඳහා ප්ලාස්ටික් ටියුබ් නැවත භාවිතා කිරීම සහ අපනයන පාරිභෝගිකයින් සඳහා රෙදි රෝල් ලබා දීමේදී කාඞ්බෝඞ් ටියුබ් වෙත මාරු වීම සිදු කරන අතරම සේවකයින්ට සහ පාරිභෝගිකයින්ට ද නැවත භාවිතා කළ හැකි වීදුරු වතුර බෝතල් වැනි ප්ලාස්ටික් විකල්පයන් ලබා දී ඇත. අමු රෙදි ආරක්ෂා කිරීම සඳහා සමාගම පොලිතින් වෙනුවට පරිසර හිතකාමී උසස් වර්ගයේ රෙදි වෙත මාරු විය.

මෙම වසර මුලදී, හේලීස් ෆැබ්රික් විශාල සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා සිය දායකත්වය ලබා දුන්නේය. මෙම ව්‍යාපෘතියෙන් ජනනය වන විදුලිය නෙට් ප්ලස් යෝජනා ක‍්‍රමය යටතේ ජාතික විදුලිබල පද්ධතියට සපයනු ලබන අතර විදුලි බලය ඉතිරි කරන LED බල්බ එහි සියලූම පරිශ‍්‍රයන්හි ස්ථාපනය කර ඇත.

අසල පිහිටි ගඟට බැහැර කරන ජලය හොඳ තත්ත්වයෙන් සහ අදාළ සියලූ පාරිසරික ප‍්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම සහතික කිරීම සඳහා අති නවීන ජල පවිත‍්‍රාගාරයක් භාවිතා කරමින් සමාගම සිය අපජල වලින් 25% ක් ප‍්‍රතිචක‍්‍රීකරණය කරයි. සියලූම පිරිසිදු ජලය සමාගම තුළදී සහ මධ්‍යම පරිසර අධිකාරිය (CEA), ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය (BOI) වැනි බාහිර ආයතන විසින් නිරන්තරයෙන් පරීක්ෂා කරනු ලැබේ.

කර්මාන්තශාලාවට යාබදව අක්කර 20 ක රබර් ඉඩමක් හරිත කලාපයක් ලෙස හේලීස් ෆැබ්රික් වෙන් කර තිබීම විශේෂත්වයකි. තවද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව අංශයේ මඟ පෙන්වීම යටතේ අතිරේක අක්කර 8 ක් තෙත්බිම් ජෛව විවිධත්ව කලාපයක් ලෙස ද නම් කර ඇත.

හේලීස් ෆැබ්රික් පීල්සී යනු හේලීස් සමූහයට අනුබද්ධිත, ස්වභාවික හා කෘතිම තන්තුවලින් සාදන ලද රෙදි නිෂ්පාදනය සඳහා සැලසුමේ සිට නිෂ්පාදනය දක්වා අවසන් විසඳුම් ලබා දීමේ හැකියාව ඇති ශ්‍රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමකි. මෑතකදී සිංගප්පූරුවේ පැවති 2019 ආසියානු තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී (ASRA) ආසියාවේ විශිෂ්ටතම වාර්තාකරණ සැලසුම සඳහා වන ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමාගම සමත් වූ අතර 2018 ජනාධිපති හරිත සම්මාන උළෙලේදී සමාගමට ලෝකඩ සම්මානයක් පිරිනමන ලදී.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ වාර්ෂික වාර්තාකරණ සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශය සඳහා රිදී සම්මානයක් සහ ලෝකඩ සම්මාන දෙකක් දිනා ගනිමින් හේලීස් ෆැබ්රික් සමාගම වසර ගණනාවක් පුරා සිය වාර්ෂික වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. තවද, 2017 දකුණු ආසියානු ගණකාධිකාරීන්ගේ වාර්ෂික වාර්තාකරණ සම්මාන උළෙලේදී නිෂ්පාදන අංශය සඳහා කුසලතා සහතිකයක් ද සමාගමට ප‍්‍රදානය කරන ලදී.

Visits: 226