කොළඹ කොටස් හුවමාරුව 35 වැනි සංවත්සරය සමරයි

මේ වසරේදී කොළඹ කොටස් හුවමාරුව සිය 35 වැනි සංවත්සරය සමරන බව පවසයි. 1985 වසරේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු නිල වශයෙන් ආරම්භ වී තිබේ. ඒ අනුව මෙම සංවත්සර සැමරුම වෙනුවෙන් අද (දෙසැම්බර් 03 දා) පෙරවරු 10.30 සිට 11.00 දක්වා විශේෂ සීනු නාද කිරීමේ අවස්ථාවක්ද සංවිධානය කෙරෙන බවද කොළඹ කොටස් හුවමාරුව පවසයි.

කොළඹ කොටස් හුවමාරුවේ වත්මන් සභාපති දුමිත් ප්‍රනාන්දු, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයාරත්න සහ කොළඹ කොටස් හුවමාරුවේ හිටපු සභාපතිවරයෙකු වන අජිත් ජයවර්ධන යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතව ඇත.  

මෙහිදී එම අවස්ථාව සජීවීව සිය ෆේස්බුක් පිටුව සහ යූටියුබ් නාලිකාව හරහා සජීවීව විකාශය කෙරෙන බවත්  කොළඹ කොටස් හුවමාරුව වැඩිදුරටත් සඳහන් කරයි.

1985 වසරේදී කොටස් තැරැව්කාර සංගම් දෙකක් වන කොටස් තැරැව්කරුවන්ගේ සංගමය (the Share Brokers Association) සහ කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය (Colombo Brokers Association) එකතුවෙන් කොළඹ කොටස් හුවමාරුව (Colombo Stock Exchange) පිහිටුවී තිබේ.

“වත්කම් සහ වටිනාකම් උත්පාදනය සඳහා වඩාත් හොඳම තෝරා ගැනීම  බවට පත් වීම” කොළඹ කොටස් හුවමාරුවේ වර්තමාන දැක්ම වී තිබේ.

එහිදී සිය ක්‍රියාකාරී ආයෝජකයන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම, කොළඹ කොටස් හුවමාරුව හරහා සිය ප්‍රාග්ධනය රැස් කරගැනීම සඳහා සමාගම් උනන්දු කරවීම, විවිධාංගීකරණය වූ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ වෙළෙඳපොළ සම්පූර්ණත්වය සහ ආයෝජක විශ්වාසනීයත්වය සඳහා වඩාත් සමතුලිත නියාමනයක් පවත්වාගෙන යාම ට කටයුතු කිරීම යනාදිය කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි පරමාර්ථය ලෙසත් සඳහන් වෙයි.

Visits: 122