ඕමානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනයට පියවර

ඕමානය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව සොයා බලන බව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා පවසයි.

ඕමානයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති ෂෙයික් අබ්දුල් මලික් බින් අබ්දුල්ලා බින් අල් අලි කලීලි මහතා හා තානාපති අමීර් අජ්වාඩ් මහතා අතර පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇතැයි මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. 

2016 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ 2017 දී ඕමානයේ ෂුරා කවුන්සිලය විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා-ඕමාන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා රජය සහ ඕමානයේ ෂුරා කවුන්සිලය අතර සහයෝගීතාවය සඳහා වූ ක්ෂේත්‍ර පිළිබඳවද දෙදෙනා මෙම හමුවේදී සාකච්ඡා කර ඇත.

ඕමාන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වත්මන් සභාපති ධූරය භාර ගැනීමට පෙර, ෂෙයික් අබ්දුල් මලික් බින් අබ්දුල්ලා බින් අලි අල් කලීලි මැතිතුමා ඕමානයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

ඉකුත් නොවැම්බර් 24 වැනිදා අමීර් අජ්වාඩ් මහතා  ෂෙයික් අබ්දුල්මලික් බින් අබ්දුල්ලා බින් අලි අල් කලීලි මැතිතුමා බැහැදැක, එතුමා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ කවුන්සිලයේ සභාපති ලෙස පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එවන ලද සුබපැතුම් පණිවුඩය පිරිනැමීය.

මේ අතර, තානාපති අමීර් අජ්වාඩ් මහතා 2020 නොවැම්බර් 18 වැනි දින සමරනු ලැබූ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ 50 වැනි ජාතික දිනය පිළිබඳව ද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපතිවරයාට සිය සුබ පැතුම් එක් කර තිබේ. තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඩබ්.ඩී.එන්.එම්. අබේසේකර මහත්මිය ද මෙම හමුව සඳහා තානාපතිවරයා සමඟ එක් වූ බවත් තානාපති කාර්යාලය පවසයි.

Visits: 42