BOI සභාපති ධුරයෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස කටයුතු කළ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික සුසන්ත රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි වාර්තා වෙයි. ඊයේ (නොවැම්බර් 30 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු මෙලෙස ධුරයෙන් ඉවත්ව තිබේ. පෞද්ගලික කාරණාවක් මත ඔහු මෙලෙස ධුරයෙන් ඉවත්ව  ඇත.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ හිටපු සභාපතිවරයෙකුද වන සුසන්ත රත්නායක මහතා ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ තීරණයකට අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කෙරිණි.

එහිදී වසරක කාලයක් ස්වේච්ඡාවෙන්  එම ධුරය සඳහා සේවය කිරීමට රත්නායක මහතා එකඟතාව පළ කර තිබූ බවත් පැවසෙයි. ඒ අනුව පුරප්පාඩුවන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය සඳහා ජනපතිවරයා විසින් ඉදිරියේදී නව සභාපතිවරයෙකු පත් කරනු ඇතැයි සඳහන් වෙයි.

අද වනවිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස ජනාධිපති නීතීඥ ආචාර්ය හර්ෂ කබ්රාල්, CodeGen Group of Companies හි නිර්මාතෘ හර්ෂ සුභසිංහ,  Lynear Wealth Management  හි අධ්‍යක්ෂ ආචාර්ය සංජය කුලතුංග සහ ජයමින් පැල්පොල යන මහත්වරුන් කටයුතු කරයි. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වන්නේ සංජය මොහොට්ටාල මහතාය.

Visits: 204