ශ්‍රී ලංකාව සමඟ රුසියානු සහයෝගිතාව පුළුල් කරන බව ජනපති පූටින් කියයි

වෙළඳ, ආර්ථික, සංස්කෘතික හා මානුෂීය ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව රුසියානු ජනාධිපති වැල්ඩ්මීර් පුටින් මහතා සඳහන් කළ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ රුසියානු රජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව ගිය මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මහතා සිය අක්ත පත්‍ර පුදානයට එක් වූ අවස්ථාවේදී ය.

මෙම අක්ත පත්‍ර පිළිගැන්වීම රුසියාවේ ග්‍රැමි ක්‍රෙම්ලින් මාළිගාවේ ඇලෙක්සැන්ඩර් ශලාවේදී පැවැත්විණ. මෙම අවස්ථාවට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මැතිතුමා සහ රුසියානු ජනාධිපති විදේශ ප්‍රතිපත්ති උපදේශක යූරි උෂාකොව් මහතා ද සහභාගී වී තිබෙන බව  රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති රුසියානු ජනාධිපතිවරයා, විශේෂයෙන් ෂැංහයි සහයෝගීතා සංවිධානයේ කොටසක් ලෙස අපේ රටවල් ජාත්‍යන්තර තලයේ දී නිර්මාණාත්මකව මැදිහත් වන අතර, එහි දී ශ්‍රී ලංකාවට සංවාද හවුල්කරුවකුගේ තත්ත්වය පවතින බවත් ව්ලැඩිමීර් පුටින් අවධාරණය කර තිබේ.

ක්‍රෙම්ලිනයේ පැවති නිල උත්සවයෙන් අනතුරුව, තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ  මහතා සහ තමරමාලා කන්නන්ගර මහත්මිය තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලයේ හෘදයාංගම සුබ පැතුම් පිළිගත් අතර, එතුමා සිය නිල නිවසේ දී දූත මණ්ඩලයේ කාර්යය මණ්ඩලය පිළිගෙන, ශ්‍රී ලාංකික භෝජන සංග්‍රහයක් පැවැත් වූ බවත් තානාපති කාර්යාලය පවසයි.

Visits: 91