වසංගතයක් මෙන් පැතිරුණු ‘Black Friday’

පසුගිය දින දෙක තුන තුළදී ඔබ සමාජ මාධ්‍ය වෙත පිවිසියේ නම් මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන බොහෝ සමාගම් විසින් ‘Black Friday (කළු සිකුරාදා)’ නමින් දියත් කරන ලද විශේෂිත වට්ටම් දීමනා ලබා දීමේ ප්‍රවර්ධන අවස්ථා එකක් හෝ කිහිපයක් අනිවාර්යයෙන්ම ඇස ගැටෙන්නට ඇත. ඇතැම් විට ඔබ ඉන් උපරිම ප්‍රයෝජන ගන්නටද ඇත.

අන් කවරදාකටවත් වඩා දැවැන්ත වට්ටම් මිලකට (ඇතැම් විට 50%කටත් වඩා වැඩි වට්ටම් මුදලකට) සමාගම් සිය භාණ්ඩ අලෙවි කරනු දැකගත හැකි විය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී සමාගමකින් – දෙකකින් ඇරඹුණු මෙම සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් සෙනසුරාදා වන විට සමාගම් රැසක් දක්වා ව්‍යාප්ත විය.

ශ්‍රී ලංකාව තුළ මේ සංකල්පය ආරම්භ වන්නේ 2017 වසරේදී පමණය. එම අවස්ථාවේදී සීමාසහිතව සිදු කෙරුණු මෙම අලෙවි ප්‍රවර්ධනය අද වනවිට දරුණු ලෙස ව්‍යාප්ත වී තිබේ. ඒ සඳහා ප්‍රධානම ප්‍රචාරණ මාධ්‍ය බවට පත්ව ඇත්තේ සමාජ මාධ්‍යයයි.

ඒ අනුව මුලදී ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවි සමාගම් මෙම ප්‍රවර්ධනය සිදු කළත් පසුව ආහාර අලෙවි සැල්ද Black Friday හා එක් විය. එලෙස බලන බලන හැම තැනම Black Friday ප්‍රවර්ධන වසංගතයක් මෙන් පැතිරී යාම සිදු විය. ඇතැම් සමාගම් මෙම Black Friday දිමනා ලබන සඳුදා දක්වාම දිග්ගස්සවාගෙන ඇත.

එහෙත් ශ්‍රී ලාංකික අපට මේ Black Friday (කළු සිකුරාදාව) එතරම් හුරු නැත. එය එලෙස නම් ව ඇත්තේ කතෝලික ආගමේ නත්තල් උදාවට මාසයකට පෙර එනම් නොවැම්බර් මාසයේ අවසන් සිකුරාදා එසේත් නැත්නම් සුප්‍රසිද්ධ %ස්තූතිය පුද කිරීමේ (තෑන්ක්ස්ගිවින් ඩේ)^ දිනයට පසුදිනය යොදා ගනිමිනි. ඒ අනුව කතෝලිකයන් අතර මෙම කළු සිකුරාදාව බොහෝ ප්‍රචලිතය. (මේ වසරේදී එය යෙදී ඇත්තේ නොවැම්බර් 27 වැනිදාටයි)

එහෙත් අද දවසේදී මේ Black Friday ලොව පුරා දැවැන්තම සාප්පු සවාරි අවස්ථාව යෙදෙන දිනය බවට පත්ව තිබේ.

මෙය ආරම්භ වන්නේ 1924 දී පමණ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එහිදී නිව්යෝර්ක් නුවර ජනප්‍රිය ඇගලුම් අලෙවි සලක් වූ Macy’s මෙම තෑන්ක්ස්ගිවින් දිනයට පසු දිනය විශේෂිත වට්ටම් ලබා දෙමින් සාප්පු සවාරියේ යෙදෙන දිනය ලෙස ප්‍රවර්ධනය කර ඇත. අනතුරුව 1930 දශකය පුරා මෙම සංකල්පය එක්සත් ජනපදය තුළ ව්‍යාප්ත විය. විශේෂයෙන්ම එම කාලසීමාවේ ඇති වූ දැවැන්ත ආර්ථික අවපාතය හමුවේ මෙය පාරිභෝගිකයන්ට මහත් අස්වැසිල්ලක් වූ බව  පැවසෙයි.

මේ අතර 1939 දී එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාව සිටි ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් එම වසරේදී මෙම තෑන්ක්ස්ගිවින් දිනය වසරේ යෙදී ඇති සාමාන්‍ය දිනයට සතියකට පෙරාතුව වන ලෙස වෙනස් කළේය. එක්සත් ජනපදය තුළ භාණ්ඩ අලෙවිය ඉහළ දැමීම එහි අරමුණ විය. ඇතැම් පිරිස් මෙය %ෆ්‍රෑන්ක්ස්ගිවින්ග්^ ලෙසින්ද හැඳින්වූ බව පැවසෙයි.

මෙම දිනය ‘ Black Friday’ ලෙස නම් කරන්නේ එරට ෆිලඩෙල්ෆියාහි පොලිස් නිලධාරියෙකු විසිනි. 1950 වසරේ යෙදුණු මෙම තෑන්ක්ස්ගිවින් දිනයට පසු දිනයේදී ෆිලඩෙල්ෆියාවේ සාප්පු වෙත රැස් වුණු සංචාරකයන් සහ සාප්පු සවාරි යන්නන් නිසා එහි දැවැන්ත තදබදයක් ඇති වූ බව පැව‍‍සෙයි. එහිදී නගයේ පැවැත්වුණු යුද හමුදා – නාවික හමුදා පාන්දු තරගයක්ද ඊට හේතු වී ඇත. ඒ අනුව නගරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විවේකයක් නොමැතිවම රාජකාරි කිරීමට සිදුව තිබේ.

මේ තත්ත්වයත් සමගින්ම එම දිනය ‘කළු සිකුරාදාවක්’ ලෙස පොලිස් නිලධාරීන් අතර ප්‍රචලිත වී ඇත. එය පසුව ෆිලඩෙල්ෆියාවේ ජනතාව අතර ව්‍යාප්ත වී ඇත. එහෙත් මේ හරහා ලැබෙන අයහපත් ප්‍රතිඵලය නිසා නගරයේ බොහෝ වෙළෙඳුන් ‘දැවැන්ත සිකුරාදාව (බිග් ෆ්‍රයිඩේ)’ ලෙස හඳුන්වමින් මෙය ජනතාව අතර ප්‍රචලිත කිරීමටද උත්සාහ ගත් බව  පැවසෙයි.

කෙසේ වෙතත් විවිධ මාධ්‍ය හරහා මෙම බ්ලැක් ෆ්‍රයිඩේ නම අවස්ථා ගණනාවකදීම සඳහන් කිරිමත්, ඒ පිළිබඳව වූ දැන්විම් පළ කිරීමත් සමගින්ම 1960–1980 දශක පුරා එක්සත් ජනපදය තුළ මෙම බ්ලැක් ෆ්‍රයිඩේ සාප්පු සවාරි දිනය ප්‍රසිද්ධියට පත්විය. අද වනවිට එය එක්සත් ජනපදය තුළ වසරේ දැවැන්තම සාප්පු සවාරි දිනය බවට පත්ව තිබේ. ඒ අනුව බොහෝ සාප්පු සිය නිෂ්පාදනවල මිල ගණන් දැවැන්ත ලෙස කපා දැමෙන අතර, ඒ හරහා සිය ලාභ වැඩි කරගැනීමට ඒවායේ හිමිකරුවන් සමත්ව සිටියි. එසේම අද වනවිට නත්තල් උත්සව සමය ඇරඹෙන්නේද මෙම බ්ලැක් ෆ්‍රයිඩේ දිනයෙන් අනතුරුවයි.

අද දවසේදී මිලියන ගණනක ඇමෙරිකානුවෝ මෙම බ්ලැක් ෆ්‍රයිඩේ දිනයේ ලබා දෙන වි‍ශේෂ වට්ටම් පිළිබඳව වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය හරහා අවදානය යොමු කරති. එසේම අලෙවිකරුවෝද වසරේ මෙම දිනය පැමිණෙන තෙක්ම බලා සිටිති. එහිදී ඔවුන් මෙම වට්ටම් ප්‍රවර්ධනය සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා මාධ්‍ය බවට සමාජ මාධ්‍ය පත්ව තිබේ. අද අප රටේද ප්‍රචලිතව ඇත්තේ මේ ප්‍රවර්ධනයයි.

ඇඩෝබි ඇනලිටික්ස් සමාගමට අනුව පසුගිය වසරේ බ්ලැක් ෆ්‍රයිඩේ දිනයේදී පමණක් ඇමෙරිකානු එක්සත් ජනපද පාරිභෝගිකයන් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.4ක මුදලක් වියදම් කර තිබේ. (මෙය එම කාලසීමාවේදී ශ්‍රී ලංකාව සතුව තිබූ  සමස්ත විදේශ සංචිත ප්‍රමාණයේ ඇස්තමේන්තුවට සමානය)

එක්සත් ජනපදයෙන් ඇරඹි මෙම බ්ලැක් ෆ්‍රයිඩේ සාප්පු සවාරි දිනය මඟහැරෙන රටක් ලොව සොයා ගැනීමටත් නොහැක. එහිදී එක් එක් රටවල් මෙම සංකල්පය තමන්ගේ රටට ගැලපෙන ආකාරයෙන් යොදා ගැනීමක්ද දැකගත හැකිය. මෙක්සිකෝව තුළ මෙය හැඳින්වෙන්නේ ‘El Buen Fin’ එනම් ‘යහපත් නිමාවක්’ යන තේරුමෙනි. එසේම එක්සත් අරාබි එමීරය තුළ (මුස්ලිම් ආගමිකයන් සිටින) මෙය ‘White Friday (සුදු සිකුරාදාව)’ බවට පත්ව තිබේ.

මේ අතර බ්ලැක් ෆ්‍රයිඩේ දිනයෙන් ආරම්භ වන මෙම සාප්පු සවාරි දිනය සති අන්තය පුරාමත් ක්‍රියාත්මක වන ලෙස සකසා ගන්නට ලොව අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන්නන් (ඔන්ලයින් වෙළෙදුන්) කටයුතු යොදා ඇත. ඒ අනුව සති අන්තයේ නිමාවෙන් පසුව එළැඹෙන සඳුදා දිනය ‘Cyber Monday (සයිබර් මන්ඩේ)’ ලෙසින්ද ඔවුන් හඳුන්වා දී තිබේ. විශේෂයෙන්ම පෙර වසරවලට වඩා මේ වසරේදී වඩාත් ඉහළ ගොස් ඇති ඔන්ලයින් භාණ්ඩ අලෙවිය නිසා මේ වසරේ බ්ලැක් ෆ්‍රයි‍ඩේ භාණ්ඩ අලෙවිය පසුගිය වසරට වඩා වැඩි වනු ඇතැයි සඳහන් වෙයි.

ඇඩෝබි ඇනලිටික්ස් හි සමීක්ෂණයට අනුවද පසුගිය වසරේදී එක්සත් ජනපදය තුළ බ්ලැක් ෆ්‍රයිඩේ දිනයට වඩා මෙම සයිබර් මන්ඩේ දිනයේදී වැඩි අලෙවියක් වාර්තා කර ඇති අතර එය එක්සත් ජනපද ඩොලර් බිලියන 9.4ක් ලෙස සටහන්ව ඇත.

Visits: 187