ලබන වසරේදී රට තුළ ජල සම්පාදන ව්‍යාපෘති 264ක්

රට තුළ ජල සම්පාදන කටයුතු වඩා කාර්යක්ෂම කිරීම සඳහා එළඹෙන වසරේදී ව්‍යාපෘති 264ක් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කොට ඇති බව ජලසම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වුණු එම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී මේ කරුණු අනාවරණය වී තිබේ.

ඒ අනුව එම ව්‍යාපෘතිවලින් එක් කොටසක් 2021 වසරේදීත් අනෙක් කොටස 2022 වසරේදීත් ආරම්භ කිරිමට අමාත්‍යාංශය විසින් සැලසුම් කොට තිබේ.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදහස් දැක්වූ එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා, ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් දැනට රට තුළ තිබෙන 40%ක් පමණ වන ජල සැපයුම් ආවරණය 78% දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව පවසා තිබේ.

එමගින් දැනට දවසකට නිෂ්පාදනය කරන ජලය ඝන මීටර් 2.07 ක ප්‍රමාණය ඝන මීටර් 4.47දක්වා වැඩි කිරීමටද හැකිවනු ඇත. මෙම සියළු ව්‍යාපෘති ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් නිර්මාණ සකස් කොට දේශීය අරමුදල් භාවිත කොට දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් සිදු කිරීමට අපේක්ෂිත බවත් අමාත්‍යාංශය පවසයි.

මේ අතර, ජලය සැපයීම පමණක් හුදෙක් තම ප්‍රතිපත්තිය නොවන බවත්, ජනතාවට ගුණාත්මක ජලය සැපයීම තම අරමුණ බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙහිදී පවසා තිබේ.

ඒ අනුව තම අමාත්‍යාංශය යටතේ පවතින ජල සම්පත් මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය සහ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව යන ආයතන ඒ සඳහා කාර්යක්ෂමව තටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

Visits: 271