රු.මි. 800ක ණය පියවීමට කහවත්ත ප්ලාන්ටේෂන්ස් කොටස් මි. 19ක පෞද්ගලික නිකුතුවකට යයි

කොළඹ කොස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැවිලි සමාගමක් වන කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මෙතෙක් ලබා ගෙන තිබෙන රුපියල් මිලියන 800ක් (800,192,310ක) ණය ආපසු ගෙවීම සඳහා එම ණය හිමිකරුවන් වෙත පෞද්ගලික නිකුතුවක් හරහා කොටස් අලෙවියක් සිදු කිරිමට අදහස් කරගෙන සිටින බව වාර්තා වෙයි.

දැනටමත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මේ සඳහා අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව කොටසක් රුපියල් 41 බැගින් වූ පෞද්ගලික නිකුතුවක් හරහා කොටස් ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 19,516,886ක් ලබා දීම සිදු වන බව කහවත්ත  ප්ලාන්ටේෂන්ස් සමාගම සඳහන් කරයි.

සමාගම පවසන ආකාරයට එම සමාගම මේ දක්වා ණය හිමිකරුවන් තිදෙනෙකු වෙත මෙම මුදල ගෙවීමට නියමිතව ඇත. ඒ අනුව ඉන් රුපියල් මිලියන 350ක් (350,000,000ක්) ලබා ගෙන ඇත්තේ සිමාසහිත MJF Teas පෞද්ගලික සමාගමෙනි. (මෙය සුප්‍රසිද්ධ ඩිල්මා තේ සමාගමට අයත් සමාගමකි) එහිදී එම ණය සඳහා පොළී අනුපාතය වාර්ෂිකව සාමාන්‍ය බරිත තැන්පතු අනුපාතිකය සඳහා 1% ක එකතු කිරිමක් (AWDR+1%) ලෙස පැවතී ඇත.

එසේම කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සීමාසහිත MJF Exports පෞද්ගලික සමාගමෙන්ද රුපියල් මිලියන 275ක (275,000,000ක) ණය මුදලක් ලබා ගෙන ඇත. (මෙයද සුප්‍රසිද්ධ ඩිල්මා ‍තේ සමාගමට අයත් සමාගමකි)  එහිදීද පොළී අනුපාතිකය වාර්ෂිකව AWDR+1% ලෙස පැවැතී ඇත.

මී අමතරව කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම මගින් 2020 නොවැම්බර් 20 වැනිදා වන විට සීමාසහිත ෆෝර්බ්ස් ප්ලාන්ටේෂන්ස් පෞද්ගලික සමාගම වෙත රුපියල් මිලියන 66ක (66,434,736ක) මුදලක් ගෙවීමටද නියමිතව තිබේ. මෙය නොපියවූ කළමනාකරණ ගාස්තු වන අතර එහිදීද එම මුදල සඳහා වන පොළිය වාර්ෂිකව AWDR+1% මට්ටමේ පවතී.

ඒ අනුව මෙලෙස සමාගම වෙතින් සිමාසහිත MJF Teas පෞද්ගලික සමාගම, MJF Exports පෞද්ගලික සමාගම සහ සීමාසහිත ෆෝර්බ්ස් ප්ලාන්ටේෂන්ස් පෞද්ගලික සමාගම වෙත ගෙවීමට නියමිත මුදල් ඉදිරියට MJF Exports පෞද්ගලික සමාගම සහ සීමාසහිත ෆෝර්බ්ස් ප්ලාන්ටේෂන්ස් පෞද්ගලික සමාගම වෙත ගෙවීමට නියමිතව ඇතැයිද කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. එහිදී සමාගම මගින් ගෙවිය යුතු සමස්ත ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 800,192,310 කි.

අද වනවිට තේ, රබර් සහ කුරුඳු වගාවන් මෙම කහවත්ත ප්ලාන්ෂෙන්ස් පීඑල්සී හරහා සිදු කරයි. පසුගිය වසර කිහිපයේදීම සමාගම දිගින් දිගටම පාඩු ලැබීම මෙම තත්ත්වයට හේතු වූ බව කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී පවසයි.

එහිදී මෙහෙයුම් සහ මෙහෙයුම් නොවන අභියෝග බලපෑ බවත් විශේෂයෙන්ම පළමු කරුණ ලෙස, දරුණු පාරිසරික කාරණා සහ කාලගුණික (ගංවතුර තත්ත්වයන්ට පසුව උදා වූ නියඟ කාල සමයන්, නොනවත්වා ඇද හැලුණු මෝසම් වර්ෂාව) තත්ත්වයන් සිය ඵලදාව වෙත බලපෑම් එල්ල කළ බවත්, දෙවැනි කරුණ ලෙස 2019 වසරේදී සිදු වූ සේවක වැටුප් ඉහළ දැමීමත්, තෙවැනි කරුණ ලෙස තණ කොළ මර්දක සහ පොහොර භාවිතය සිමා කිරීම සිය ඵලදාව හානිවීමට බලපෑ බවත්, සිව්වැනි කරුණ ලෙස  බැංකු සහ අනෙකුත් පාර්ශ්වයන් මගින් ලබා ගෙන තිබූ ණය සඳහා වන පොළී ගෙවීමත් වූ බවත් සමාගම පවසයි.

“සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කර ඇති නිරීක්ෂණයට අනුව මෙම අලාභ ලැබීමේ ප්‍රවණතාව ඉදිරියටත් එලෙසින්ම පවතිනවා. විශේෂයෙන්ම රජය විසින් සිදු කර ඇති තීන්දුවට අනුව 2021 වසරේදී වතු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ අවස්ථාවත් සමගින්ම ඉතාමත් මෑතකදීම සමාගමේ ප්‍රාග්ධන තත්ත්වය වෙත දරුණු අහිමිවීමක් සිදුවීමට නියමිතව තිබෙනවා.” කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී පවසයි.

ඒ අනුව සමාගම මගින් කොටසක් රුපියල් 41 බැගින් සිදුකරන මෙම කොටස් 19,516,886ක පෞද්ගලික කොටස් නිකුතුවේ වටිනාකම රුපියල් 800,192,326කි.

මේ අතර මෙම නිවේදනය නිකුත් කරන දිනය වනවිට කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සතු ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 898ක් (898,760,315ක්) වන බවත්, සමාගමේ මහජන කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශතය 20.48%ක් වන බවත් සමාගම පවසයි.

මෙහිදී යෝජිත අදාළ පෞද්ගලික නිකුතුව  යම් කොන්දේසි මත සම්පූර්ණ කිරීමට නියමිතව ඇති බවත්, එහිදී කොළඹ කොටස් හුවමාරුවේ නිකුත් කිරීමේ සහ ලැයිස්තු ගත කිරීමේ අනුමැතිය මෙන්ම ‍මේ සම්බන්ධයෙන් වන සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියද එළැඹෙන මහා සභාරැස්වීමේදී හිමිකරගත යුතුව ඇතැයිද සමාගම වැඩිදුරත් පවසා සිටියි.

Visits: 463