කොරෝනා නිසා AMW සේවකයන් 175 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට යනවාලු

කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඇති වුණු මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් ඇසෝසියේටඩ් මෝටර්වේස් (පෞද්) සමාගම (AMW) සිය සේවකයන් 175 දෙනෙකු වෙත ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ සැලසුමක් ඉදිරිපත් කර ඇතැයි ‘ද සන්ඩේ මෝර්නිං’ පුවත්පත අද වාර්තා කරයි.

එහෙත් එම විශ්‍රාම යාම පිළිගෙන ඇත්තේ ඉන් සේවකයන් 73 දෙනෙකු පමණක් බවත් එහි සඳහන් වෙයි. ඒ අනුව එම විශ්‍රාම ගැන්වීම නොපිළිගෙන තවදුරටත් සමාගම හා එක්ව සේවය කිරීමට කැමති සේවකයන් වෙත මෙතෙක් ලබා දුන් සම්පූර්ණ වැටුපම ගෙවීමට නොහැකි බවද සමාගම ඔවුන් වෙත දන්වා ඇතැයිද පැවසෙයි.

කෙසේ වෙතත් මේ වසරේ මේ දක්වා ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම රුපියල් මිලියන 300ක ලාභයක් වාර්තා කර ඇති පසුබිමක මෙවැනි සේවක විශ්‍රාම ගැන්වීමක් සිදු වීම විශේෂත්වයක් බවත් පුවත්පත සඳහන් කරයි.

අද වනවිට AMW සමාගම එක්සත් අරාබි එමීර රාජ්‍යයේ Al-Futtaim සමූහයට අයත් අල්-ෆුටායිම් ඉන්ජිනියරිං සමාගම මගින් කළමනාකරණය කෙරේ.

මෙහිදී දැනටමත් ඉහත සඳහන් කළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ තීරණය අනුමත නොකළ සේවකයන් 102 දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමටද සමාගම ලංකා සේව්‍ය සම්මේලනය වෙතද ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි පුවත්පත වැඩිදුරටත් පවසයි.

මේ අතර, සිය නම සඳහන් නොකරමින් පුවත්පත වෙත කරුණු දක්වා ඇති සමාගමේ සේවකයෙකු, මේ වසරේ පළමු අර්ධයේදී ක්‍රියාත්මක වූ පළමු ලොක්ඩවුන් සීමා අවස්ථාවේදීම සමාගමේ සෑම අංශයක්ම නියෝජනය වන පරිදි සේවකයන් 289 දෙනෙකු සමාගම විසින් තෝරා ගෙන ඇති බවත්, එහිදී ඔවුන්ගේ කාර්යසාධන වාර්තා අනුව ඔවුන් මෙම ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය වෙත වර්ග කර තිබේ.

පුවත්පත පවසන ආකාරයට මෙම සේවකයන් 289 දෙනා අතරින් 114 දෙනෙකු කලුතර පිහිටි AMW කර්මාන්තශාලා පරිශ්‍රයට අනුයුක්තව සිට ඇත. එසේම ඔවුන් එම සමාගමේ වෘත්තීය සමිතියකටද සම්බන්ධ පිරිස් බව පැවසෙයි. ඒ අනුව යම් වෘත්තීයම ක්‍රියාමාර්ගයක් පිළිබඳ පැවැති බිය නිසා සමාගම එම සේවකයන් තවදුරටත් සේවයේ තබා ගනිමින් වෙනත් සේවකයන් 175 දෙනෙකු වෙත මෙලෙස ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ සැලසුම ඉදිරිපත් කර තිබේ.

මෙලෙස සේවකයන් වෙත මෙවැනි විශ්‍රාම ගැන්වීමේ සැලසුමක් හඳුන්වාදීමට හේතුව ලෙස  AMW සමාගම ලංකා සේව්‍ය සම්මේලනය වෙත දන්වා ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් වසා දැමීමට සිදුවීමත් ඊට සම්බන්ධ බවකි. එහෙත් AMW සමාගම සිය Piaggio සන්නාමය ඇතුළු තවත් ව්‍යාපාරික අංශ කිහිපයක්ම වසා දමා ඇත්තේ මෙම වසංගතය බලපෑමට පෙරාතුව බව පුවත්පත පවසයි.

මේ අතර, AMW සමාගමේ කළමනාකාරීත්වය දරන එක්සත් අරාබි එමීර රාජ්‍යයේ Al-Futtaim සමාගම විසින් 2017 වසරේ මැදදී AMW සමාගම සඳහා නව මානව සම්පත් අධ්‍යක්ෂවරයෙකු පත් කර එවා ඇති බවත්, ඔහු විසින් සමාගමේ මානව සම්පත් කළමනාකරණය තුළ විවිධ වෙනස් කම් සිදු කර, මෙම ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ සැලසුම ඉදිරිපත් කිරීමටද මූලිකත්වය ගෙන ඇතැයි පැවසෙයි.

2008 වස‍රේදී අල්-ෆුටායිම් සමාගම මගින් එක්සත් අරාබි එමීර ඩිරාම් මිලියන 300ක් යොදවමින් AMW සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට සමත් විය. අද වනවිට සමාගම ටයර් අලෙවිය, මෝටර් රථ අලෙවිය, අලෙවියෙන් පසු සේවාව, ලිහිසි තෙල්, බැටරි, ටයර සහ මූල්‍ය සේවාද ඉදිරිපත් කරයි. එසේම නිසාන්, යමහා, මරුටි සුසුකි සහ රෙනෝල්ට් යන මෝටර් රථ සන්නාමවල මෙරට නියෝජිතයා වන්නේද එම සමාගමයි.

AMW සමාගමේ උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් ද සන්ඩේ මෝර්නිං පුවත්පත එහි සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ බ්‍රෙන්ඩන් මොරිස් මහතාගෙන් කරුණු විමසා ඇති අතර, වසංගතය හේතුවෙන් ලෝකයේ බොහෝ කර්මාන්තවලට එල්ල වූ බලපෑම මෙන්ම මෝටර් රථ අංශයටද බලාපොරොත්තු නොවූ අස්ථාවර පරිසරයකට මුහුණ දෙන්නට සිදු වුණු බවත් එය සිය සේවකයන්ට සහ ව්‍යාපාර වෙත බලපෑ බවත් පවසා ඇත. එහිදී දිගු කාලීනව සිය සේවකයන් මෙන්ම ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන  යාමේ අරමුණින් ක්‍රියාමාර්ග වෙත පිවිසීමට සිදුවන බවත් ඔහු මෙහිදී පවසා තිබේ.

එහෙත් සමාගම මෙම අවස්ථාවේදී කොපමණ සේවකයන් සංඛ්‍යාවකට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ සැලසුමට යොමුකර ඇතැයිද යන්න පිළිබඳව හෝ මේ වසර තුළ ලබා ගෙන ඇති ලාභය පිළිබඳව එම නිලධාරියා පුවත්පත වෙත කරුණු දක්වා නැත.

Visits: 1711