ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක මෙරට ආයෝජන ගැන ජනපති හා සාකච්ඡාවක

පසුගිය 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඊයේ (28) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

එහිදී ජනාධිපතිතුමා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සෑම ආකාරයකම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය අරමුණු කොටගත් බෙහෙවින් ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවද එම අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

විශේෂයෙන්ම ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතාව, ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සාකච්ඡාවට භාජන වූ ප්‍රධාන මාතෘකා අතර වූ බව පැවසෙයි.

එසේම ඉන්දියාවේ සහභාගිත්වය ඇතිව ආරම්භ කර ඇති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කළයුතු බවට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන නව ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවායේ ආයෝජනය කිරීමට ඉන්දියාවේ ඇති කැමැත්ත අජිත් දොවාල් මහතා දැනුම් දුන්නේය.

දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා අවධාරණය කළහ.

Visits: 73