සෙලාන් බැංකුවේ ණයකර නිකුතුව ලබන වසරට කල් යයි

2020 ජූලි 30 වැනිදා රැස් වුණු සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයට අනුව යෝජනා වුණු බාසෙල් III සම්මුතිය අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිතනොවූ, අප්‍රධාන, නිදහස් කරවාගත හැකි ණයකර නිකුතුව 2021 පළමු අර්ධය තෙක් කල් දැමීමක් සිදුව ඇතැයි එම බැංකුව පවසයි.

පසුගිය නොවැම්බර් 26 වැනිදා රැස් වුණු එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මෙම තීරණය ගෙන තිබේ. විශේෂයෙන්ම අද වනවිට පවතින වෙළෙඳ පොළ තත්ත්වයන් පිළිබඳව සලකා බලා මෙලෙස ණයකර නිකුතුව කල් දැමීමට පියවර ගත් බව බැංකුව පවසයි.

ඒ අනුව 2021 වසරේ පළමු අර්ධයේදී වෙළෙඳ පොළ තත්ත්වය පිළිබඳව නැවත විමර්ෂණයක් සිදු කර මෙම ණයකර නිකුතුව සිදු කිරීමට කටයුතු යෙදීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. එසේම මෙම ණයකර නිකුතුව සඳහා කොළඹ කොටස්  හුවමාරුවෙහි අනුමැතිය ලබා ගැනීමට යන කාලය පිළිබඳවද මෙහිදී සලකා බැලූ බවද බැංකුව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී මෙම ණයකර නිකුතුව සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුව වෙත කරුණු වාර්තා කරන බවත් සෙලාන් බැංකුව වැඩිදුරටත් පවසා සිටියි.

2020 ජූලි 30 වැනිදා රැස් වුණු බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ලබාදුන් තීරණයකට අනුව බාසෙල් III සම්මුතිය අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිතනොවූ, අප්‍රධාන, නිදහස් කරවාගත හැකි ණයකර නිකුතුව සඳහා අනුමැතිය ලැබුණි.

පසුව 2020 නොවැම්බර් 04 වැනිදා පැවැත්වුණු බැංකුවේ අතිවිශේෂ වාර්ෂික හමුවේදී මෙම ණයකර නිකුතුව සඳහා අවශ්‍ය කොටස්හිමිකරුවන්ගේ අනුමැතිය ඉල්ලා තිබුණි. එසේම මෙම ණයකර ලැයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය සඳහා වන ඉල්ලුමද බැංකුව මගින් එදින ඉදිරිපත් කර තිබුණි.

Visits: 137