ඒෂියා කැපිටල් පීඑල්සී සිය මහජන කොටස්හිමිකාරීත්වය පුළුල් කරනවාලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් ලෙස එහි රීතීන් වෙත අනුකූල වෙමින් සිය මහජන කොටස්  හිමිකාරීත්වය පුළුල් අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා කටයුතු යොදන බව ආයෝජන බැංකු සමාගමක් වන ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම පවසයි.

ඒ අනුව හැකි ඉක්මණින්ම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත රීතීන්වලට අනුකූල වෙමින් අවම මහජන කොටස් හිමිකාරීත්වයක් සහිතවන ලෙස සිය මහජන කොස් හිමිකාරීත්වය පුළුල් කිරීම සඳහා වන අවස්ථාවන් පිළිබඳව අවධානය යොමු කරන බව ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ ස්ටෙෆාන් අබේසිංහ මහතා පවසා සිටියි.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වනවිට ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම සතු වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 1ක් වන අතර එහිදී සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 131,329,995ක් හරහා එය නියෝජනය වෙයි.

කෙසේ වෙතත් කොළඹ කොටස්  හුවමාරුවෙහි ලැයිස්තුගතවීමේ රීතින්වලට අනුව මෙම ලැයිස්තුගත සමාගම් සිය අවම මහජන කොටස්හිමිකාරීත්වය සමස්ත කොටස් ප්‍රමාණයෙන් 20%ක් ලෙස නොකඩවා පවත්වා ගෙන යා යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අබේසිංහ මහතා කොළඹ කොටස් හුවමාරුවේ එම රීතියට අනුකූලවීම සඳහා සිය සමාගම දැනටමත් කටයුතු යොදමින් සිටින බවත් පවසයි. එහි අවස්ථාවක් ලෙස තමන් දැනටමත් සිය සමාගමේ ජපාන ආයෝජකයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු සඳහන් කරයි.

එසේම පසුගිය ඔක්තෝබර් 30 වැනිදා වනවිට සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් 154,136,943.85ක් ලෙස පැවැති බවත්, එහිදී මහජන කොටස්හිමිකරුවන් 6,036ක් තුළ බෙදී ගොස් තිබූ කොටස් ප්‍රතිශතය 18.93%ක් වූ බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

1990 ද ශකයේදී සුරැකුම්පත් අලෙවි සමාගමක් ලෙස ආරම්භ කෙරුණු ඒෂියා කැපිටල් පීඑල්සී සමාගම පසුව කොටස් තැරැව්කාර සමාගමක් ලෙසත් සම්බන්ධ විය. එසේම පසුකාලීනව එය ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජන බැංකුවක් බවටද පත්විය.

අද වනවිට දේපළ කළමනාකරණය, දේපළ වෙළෙඳාම, වත්කම් කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණික සේවා යන අංශ තුලද ඒෂියා කැපිටල් පීඑල්සී සමූහය ව්‍යාප්තව සිටියි. සමාගමේ 76%ක කොටස් ප්‍රතිශතයක් මැලේසියානුවන් සතු වන අතර 16%ක කොටස් ප්‍රමාණයක් ජපාන ආයෝජකයන් සතු වෙයි.

Visits: 228