මහනුවර කේබල් කාර් ව්‍යාපෘතිය දකුණු කොරියානු ව්‍යාපාරිකයෙකුට

මහනුවර නගරය සහ හන්තාන කඳුවැටිය සම්බන්ධ කරමින් කේබල් කාර් ව්‍යාපෘතියක් පිහිටුවීම සඳහා වන ව්‍යාපෘතිය කොරියානු ව්‍යවසායකයෙකු වන Yoo Sun-ha වෙත පිරිනැමී ඇතැයි කොරියාවේ පළවන කොරියන් හැරල්ඩ් පුවත්පත පවසයි. එම පුවත්පත Yoo Sun-ha සමගින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ පිළිබඳව අනාවරණය සිදු කර තිබේ.

71 හැවිරිදි Yoo Sun-ha දකුණු කොරියාවේ Sky Asia නම් සමාගමේ සභාපතිවරයාද වෙයි. මෙහිදී ඔහු එම ව්‍යාපෘතියට අදාළ ලියවිලිද පුවත්පත වෙත ඉදිරිපත් කර තිබේ.

දැනට ශ්‍රී ලංකාව තුළ පවතින නව කොරෝනා වසංගතය නිමාවෙන් අනතුරුව, මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් ලබන වසරේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඔහු එහිදී පවසා ඇත. එසේම එය වසර 2022 දී විවෘත කිරිමත් සැලසුම වී ඇත. ඔහු පවසන ආකාරයට මහනුවර නගරය සහ හන්තාන කඳුවැටිය යා කරමින් කිලෝමීටර් 2.2ක දුරක් මෙම කේබල් කාර් ක්‍රියාත්මක වෙයි. මේ සඳහා ආයෝජනය කෙරෙන මුදල ඩොලර් මිලියන 35ක් බවත් ඔහු පවසා තිබේ.

ඔහු පුවත්පත වෙත සඳහන් කර ඇති ආකාරයට 2012 වසරේදී මෙරට සංස්කෘතික සහ සංචාරක අමාත්‍යවරුන් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ. එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ස්ථාන කිහිපයක්ම Yoo Sun-ha වෙත පෙන්වා ඇත. මහනුවරද ඊට අයත්ව තිබී ඇත. ඒ වන විටත් ඔහු කොරියාවේ පළමු සාගර කේබල් කාර් ව්‍යාපෘතිය ලෙස දකුණු දිග යේඔසු වරාය නගරය ආශ්‍රිතව ව්‍යාපෘතියක් ඉදි කරමින් සිට ඇත.

“කේබල් කාර් ව්‍යාපාරයේ වඩාත් වැදගත්ම දේ වෙන්නේ සංචාරකයන් කොපමණ සංඛ්‍යාවක් ඉන්නවාද කියන එකයි. එතැනදී වසරකට එම ස්ථානයට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව වසරකට ලක්ෂ 25ක් ඉක්මවනවා නම් මම එතැන කේබල් කාර් ව්‍යාපෘතියක් පිහිටුවනවා. බෞද්ධාගම තමයි ලංකාවේ විශාලතම ආගම ඒ වගේම මහනුවර දළදා මාලිගාව කියන්නේ බොහෝ දෙනෙක් පැමිණෙන තැනක්.” ඔහු පුවත්පත වෙත වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 298