රක්ෂණ සංස්ථා සභාපති ජගත් වැල්ලවත්ත ලංකා හොස්පිටල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජගත් වැල්ලවත්ත මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. නොවැම්බර් 20 වැනිදා සිට බලාත්මක වන ලෙස මෙම පත් කිරිම සිදුව තිබේ. ජගත් වැල්ලවත්ත මහතා මේ වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරයි.

මෙහිදී ඒ මහතා ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සීහි ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර තිබේ. එසේම එම පත්වීම ලබන අවස්ථාව වන විට වැල්ලවත්ත  මහතා සතුව සමාගමේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොමැති බවත් සමාගම පවසයි.

මීට පෙර සමාගම් රැසකම අත්දැකීම් සහිත වැල්ලවත්ත මහතා එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර තුළ සිය දායකත්වය ලබා දී තිබේ. එහිදී ඒ මහතා  ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහාද දායකත්වය ලබා දී ඇත. 2010 වසරේ සිට 2015 ජනවාරි දක්වා ඒ මහතා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. එසේම 2007 සිට 2010 දක්වා ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස ඒ මහතා රාජකාරි කළේය. 2005 සිට 2007 දක්වා ඒ මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්යවරයෙකු වන ඒ මහතා සිය සමාජවිද්‍යා දැනුම හරහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දායකත්වය ලබා දී තිබේ. පුරා වසර 29ක කාලයක් ඒ මහතා විශ්වවිද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රයේ නියැලී සිටියි. වැල්ලවත්ත මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දේශපාලන සමාජවිද්‍යාව පිළිබඳ වන දර්ශනවේදය සඳහා වන උසස් උපාධියක්ද හිමි කරගෙන ඇත.

Visits: 53