නිෂ්පාදන අංශයේ සමාගම් කොටස් සඳහා ආකර්ෂණය තවදුරටත්

අද දිනයේදී  (නොවැම්බර් 25) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයත් සමගම මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සහ කැලනි ටයර්ස් පීඑල්සී යන සමාගම් සිය ලාභාංශ ලබාදීමේ නිවේදන නිකුත් කිරීමත් සමගින්ම එහි ගැණුම්බරතාව ඉහළ ගිය බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම නිෂ්පාදන අංශයේ සමාගම් කොටස් මිලදී ගැනීමේ තත්ත්වයන් තවදුර‍ටත් වර්ධනය වූ බවත් එම සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,096.19ත් ඒකක 6,145.74ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,141.79 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 24) දිනයට සාපේක්ෂව එය ඒකක 54.13 ක් එනම් +0.89%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව ලයන් බෘවරි සිලෝන් පීඑල්සී, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී හි සිදු වූ ගනුදෙනු දෛනික පිරිවැටුම සඳහා 12% දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 102ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 68ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+7.26), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+6.68), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+4.39),  ඩිස්ලිටරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+4.22),  නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+4.08),  යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී UAL (-1.99), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-1.15), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (-0.95),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-0.9) සහ කොමර්ෂල් බැංකුව COMB (-0.76) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,416.18 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 24) දිනයට සාපේක්ෂව ඒකක 16.20 ක එනම් +0.68%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.5ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 24දා) වාර්තා කළ රුපියල් බිලියන 1.7ට සාපේක්ෂව 47%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.68ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.07%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 200.76ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 309.54 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 108.78කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.97ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඒසීඑල් කේබල්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.17කි. එසේම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 79.53ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 838ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 34% ක අගයක් ගෙන තිබේ. ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 495ක සහ රුපියල් මිලියන 418ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 228