කොරෝනා වළකන එන්නතේ සාර්ථකත්වයත් සමග ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල අද වනවිට ඩොලර් 48ක් ඉක්මවන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙය පසුගිය මාර්තු මාසයට පසුව වාර්තා වූ ඉහළම අගය බවට පත්ව තිබේ. ඊයේ දිනයේ සිටම මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම ආරම්භ විය.

විශේෂයෙන්ම නව කොරෝනා වෛරසයට එරෙහි එන්නත්වල සාර්ථකත්වයත් සමගින්ම ඇතිව තිබෙන බලාපොරොත්තු සහ එක්සත් ජනපදයේ මීළග ජනපතිවරයා ලෙස ජෝ බයිඩන් වෙත බලය හුවමාරුව සඳහා ට්‍රම්ප් ලබා දුන් අවසරයත් සමගින්ම මෙම තත්ත්වය උදා වී තිබෙන බව සඳහන් වෙයි.

ඒ අනුව ලෝක වෙළෙඳ පොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද මෙරට වේලාවෙන් දහවල් 12 වන විට ඩොලර් 48.23ක් බවට පත්ව තිබුණි. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක් ඩොලර් 45.13ක් ලෙස සටහන්ව තිබුණි.

පසුගිය නොවැම්බර් 19 වැනිදා සිටම මෙලෙස ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල  ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතිව තිබේ. එදින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 44ක් ලෙස සටහන් විය. එසේම නොවැම්බර් 19 වැනිදා වනවට වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 41.74ක්ව පැවතුණි.

පසුගිය මාර්තු මාසයේදී නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවීමත් සමගින්ම අඩපණවුණු කර්මාන්ත සහ සැපයුම් දාම හේතුවෙන් බොරතෙල් බැරලයක මිල දරුණු ලෙස කඩා වැටීම සිදු විය. එක් අවස්ථාවකදී බොරතෙල් බැරලයක මිල ඩොලර් ඍණ තත්ත්වයටද පත්විය.

Visits: 311