LOLC සමාගමේ iPay තවත් රටවල් තුනකට ව්‍යාප්ත කිරීමට සැලසුම්

එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ඩිජිටල් ගෙවීම් ජංගම දුරකතන ඇප් වැඩසටහන වන iPay ඉදිරියේදී මියන්මාරය, පාකිස්තානය සහ ඉන්දුනීසියාව වෙතද හඳුන්වාදීමට කටයුතු කරන බව එම සමාගම පවසයි. දැනටමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක ශ්‍රී ලංකාව සහ කාම්බෝජය තුළ එය සාර්ථකවීමත් සමගින්ම සමාගම මෙම තීරණය ගෙන තිබේ.

සිය සමාගමේ 2019/20 වසර සඳහා වූ නවතම වාර්ෂික වාර්තාව සඳහා අදහස් දැක්වීමක් සිදු කරමින්  එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සීහි නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා මේ කරුණු අනාවරණය කරයි. දැනටමත් මියන්මාරය, පාකිස්තානය සහ ඉන්දුනීසියාව තුළ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය ක්ෂුද්‍ර මූල්‍ය සේවා දියත් කර තිබේ.

එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සීහි මෙම iPay ගෙවීම් වැඩසටහන ලංකාපේ සමාගමේ ගෙවීම් වේදිකාව හරහා බලගැන්වෙන්නකි. එය  එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී යටතේ පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස ක්‍රියාත්මක එල්ඕඑල්සී ටෙක්නොලොජීස් මගින් ක්‍රියාත්මක කරයි.

මෙම ඇප් වැඩසටහන සම්බන්ධයෙන් වාර්ෂික වාර්තාව වෙත අදහස් දක්වන නානායක්කාර මහතා, “iPay මේ වසරේදී කාම්බෝජය තුළ දියත් කළා. එතැනදී එය මියන්මාරය, පාකිස්තානය සහ ඉන්දුනීසියාව තුළත් දියත් කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. මේ ඩිජිටල් ගෙවීම් වේදිකාව එල්ඕඑල්සී පාරිභෝගිකයන්ට වඩාත් සිය ගනුදෙනුවලදී වඩාත් පහසුවක් අත් කර දී තිබෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියි.

මෙම වාර්ෂික වාර්තාවට අනුව 2019/20 මූල්‍ය වසරේදී iPay වේදිකාව තුළ සිදු වුණු ගනුදෙනු ධාරිතාව ඊට පෙර වසරට සාපේක්ෂව 681% කින් ඉහළ නැග තිබේ. එසේම මේ වැඩසටහන සඳහා ලියාපදිංචි වෙළෙඳුන් ප්‍රමාණයද පෙර වසරට සාපේක්ෂව 303%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. මීට අමතරව ලියාපදිංචි පරිශීලකයන් ප්‍රතිශතයද පෙර වසරට සාපේක්ෂව 241% කින් ඉහළ ගොස් තිබේ.

විශේෂයෙන්ම පසුගිය ලොක්ඩවුන් කාලසීමාවේදී මෙම ඩිජිටල් ගෙවීම් වේදිකාව වෙත ලියාපදිංචිය සඳහා පැමිණෙන පරිශීලකයන් සහ වෙළෙඳුන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගිය බව උප සභාපතිවරයා පවසයි. ඒ අනුව වඩාත් විශ්වාසනීය අන්තර්ජාල ගෙවීම් හවුල්කරුවෙකු ලෙස එය පත් වූ බවත් ඔහු සඳහන් කරයි.

“iPay පාරිභෝගිකයන්ගෙන් 80%කට ආසන්න ප්‍රමාණයක්ම එල්ඕඑල්සී නොවන පාරිභෝගිකයන්. ඒ අනුව ලංකාපේ ගෙවීමේ වේදිකාව තුළ පාරිභෝගිකයන් අතර වැඩි ඩවුන්ලෝඩ් කිරීමක් සහිත අංක එකේ ඇප් වැඩසටහන බවට iPay පත්ව තිබෙනවා.” ඉෂාර නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

iPay වෙබ් අඩවියේ සඳහන් ආකාරයට අද වනවිට මෙම ඇප් වැඩසටහන ඩවුන්ලෝඩ් කිරීම් 50,000කට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇත. එසේම ගනුදෙනු 1,000,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති අතර වෙළෙඳුන් 14,000 කට වැඩි පිරිසක් මේ සඳහා සම්බන්ධව සිටියි.

Visits: 290