අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාවෙන් ලබන වසරේ සිට යුරෝපා ප්‍රමිතියේ ටයර්

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ ස්ථාපිත අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන ‘රිජිඩ් ටයර් කෝපරේෂන්’ කර්මාන්තශාලාව මගින් ලබන වසර ආරම්භයේ සිට යුරෝපා ප්‍රමිතියෙන් යුත් ටයර් දෙස්-විදෙස් වෙළෙඳපොළට නිකුත් කළ  හැකි බව එම සමාගම පවසයි.

පසුගියදා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එම කර්මාන්තශාලාවේ නිරීක්ෂණය සඳහා එක් වූ අවස්ථාවේදී රිජිඩ් ටයර් කෝපරේෂන් සභාපති නන්දන ලොකුවිතාන මහතා ඇතුළු එහි නිලධාරීන් මේ බව සඳහන් කර තිබේ.  

කර්මාන්තශාලාවේ පළමු අදියර ඉදිකිරීම සඳහා වියතම ඇමරිකානු ඩොලර් මිලියන 100 කි. එහිදී පළමු නිෂ්පාදන අදියර ලෙස මෝටර් සයිකල් ස්කූටර් සහ ත්‍රී රෝද රථ ටයර්, ට්‍රක් හා බස් රථ ටයර් සහ Industrial Tyres නිෂ්පාදනය කිරීමට නියමිතය. SUV වර්ගයේ වාහන ටයර් සදහා දේශීයව සහ විදේශීය ඉල්ලීම සැළකිල්ලට ගනිමින් වැඩි වශයෙන් ඒ වෙනුවෙන් අවධානය යොමුකිරීමට නියමිත බවත් සමාගම සඳහන් කර සිටියි.

යුරෝපීය තාක්ෂණික සහ තාක්ෂණික දැනුම උපයෝගී කරගනිමින් මෙහි නිෂ්පාදන කටයුතු සිදු කිරිමත් විශේෂත්වයකි. එසේම අක්කර 155ක් පුරා විහිදුනු කර්මාන්තශාලා පරිශ්‍රය අවට හරිත පරිසරයද රැක ගනිමින් නිර්මාණය කොට තිබේ.

දෙවන අදියර සදහා ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150 කි. ලබන වසරේ ආයෝජකයන් සමග ඒකාබද්ධ ගිවිසුමක් හරහා මිලියන 1.5ක නිෂ්පාදන ධාරිතාවයකින් යුතු ටයර් නිෂ්පාදනය ඇරඹීමට සුදානමින් සිටින බවත් පවසයි. මෙම නිෂ්පාදනයන්ගෙන් 80%ක ප්‍රමාණයක් අපනයනය කෙරේ. Industrial Tyres නිෂ්පාදනය කිරීම සදහා මෙට්‍රික් ටොන් 15,000 කින් යුත් වෙනම නිෂ්පාදන අංගනයක්ද රිජිඩ් ටයර් සමාගම සතු වෙයි.

“මෙම කර්මාන්තශාලාව අවට තරුණ තරුණියන් නිර්මාණය වන රැකියා අවස්ථා මෙන්ම අදාළ ක්ෂේත්‍රයේ යුරෝපීය තාක්ෂණික දැනුම මෙන පුහුණුවද තමන්ගේ රට තුළදීම ලබා ගැනීමට අවස්ථාව මේ හරහා නිර්මාණය වී තිබේ. එමෙන්ම කර්මාන්තශාලාව අවට සිටින තත්ත්වයෙන් උසස් රබර් කිරි නිෂ්පාදකයන් සදහා හොද මිලක් නිර්මාණය වීමත් එමගින් රබර් වැවිලි කරුවන් තවත් දිරිමත් කරමින් ඔවුන්ගේ ජීවනෝපාය නගා සිටුවීමට හැකියාව ලැබීමත් මෙම කර්මාන්තශාලාවේ වැදගත්කම් අතර පවතී. අදියර දෙකෙහිම නිෂ්පාදන ලබන වසරේ සිට විදෙස් වෙළදපොලට අපනයනය කිරීම මගින් රටේ අපනයන ආදායමද ඉහළ යෑම සිදු වෙයි.” කර්මාන්ත අමාත්‍යාංශය පවසයි’

අමාත්‍යවරයාගේ මෙම නිරීක්ෂණ අවස්ථාවට ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, රිජිඩ් ටයර් කෝපරේෂන් ආයතනයේ සභාපති නන්දන ලොකුවිතාන යන මහත්වරුන් ඇතුළුව කර්මාන්ත අමාත්‍යාංශයේ සහ රිජිඩ් ටයර් කෝපරේෂන් ආයතනයේ නිලධාරින් ඇතුළු පිරිසක්ද සහභාගී වී තිබේ.

Visits: 703