රජයේ ලියාපදිංචි සූර්ය බල පද්ධති සේවා සමාගම් සංඛ්‍යාව 250ක් ඉක්මවලා

අද වනවිට රට තුළ ක්‍රියාත්මක සූර්ය බල පද්ධති සේවා සපයන සමාගම් 250ක් පුනර්ජනනීය බලශක්ති සංවර්ධන අමාත්‍යාංශය තුළ ලියාපදිංචිව සිටින බව එම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. එසේම එම සංඛ්‍යාව තව දුරටත් ඉහළ යමින් පවතින බවත් එම සමාගම් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වහල මත සූර්ය බල පද්ධති සවි කිරීම සඳහා ඉල්ලීම් කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

ඩේලිනිවුස් පුවත්පත වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ කරුණු දන්වා තිබේ. ඒ අනුව වත්මන් ජනපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි පාප්ත්‍රිය සැමරෙන 2021 නොවැම්බර් මාසය වන විට නිවාස 36,000 ක් සූර්ය විදුලි බලයෙන් බලගැන්වීමට කටයුතු යොදන බවත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී පවසා ඇත. අද වන විට රට තුළ සූර්ය බල විදුලිය භාවිත කරන නිවාස සංඛ්‍යාව 25,000කි.

මේ අතර වසර 2030 වන විට රට තුළ සූර්ය බලශක්ති භාවිතය 80%ක් දක්වා වර්ධනය කරගැනීම රාජ්‍ය අමාත්‍යාංශයේ අරමුණ වී ඇත. ඒ සඳහා සුදුසු භූමි වියළි කලාපය ආශ්‍රිතව හඳුනාගෙන අත්පත් කරගැනීම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් සිදු කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එහිදී මූලිකවම අනුරාධපුරය සහ පොලොන්නරුව ආශ්‍රිතව සූර්ය බලශක්ති බලාගාර නිපදවීම සැලසුම වී ඇත. එසේම මෙම කර්මාන්තය හරහා ඉදිරියේදී ඍජු සහ වක්‍ර රැකියා 50,000ක් නිපදවීමේ හැකියාව පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

පසුගියදා ඉදිරිපත් කෙරුණු 2021 අයවැය හරහාද පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1000 දක්වා වැඩි කරගැනීමටද සැලසුම් කෙරී ඇත. එහිදී ආගමික ස්ථාන හා රාජ්‍ය ආයතන ඇතුළු ස්ථාන රැසක පියසි මත සූර්ය විදුලි ජනන පද්ධති සකස් කිරීමට පියවර ගැනීමටත්, නිවාස ලක්ෂයකට සූර්ය බල කට්ටල ලබා දීමටත් අයවැය යෝජනා ඉදිරිපත්ව ඇත. මේ සඳහා දිරිමත් කිරීමක් ලෙස රාජ්‍ය සේවකයන්ට සූර්ය බල පහසුකම් ලබා ගැනීමට ණය ක්‍රමයක්ද යෝජනා වී තිබේ.

Visits: 442