ත්‍රිකුණාමල ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ගුවන් කාලය බ්‍රිතාන්‍ය සමාගමකට අලෙවි කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සම්ප්‍ර්ෂණ මධ්‍යස්ථානයේ ගුවන් කාලය මිලදී ගෙන සිය වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය එන්කොම්පාස් ඩිජිටල් මීඩියා සර්විසස් ලිමිටඩ් ලන්ඩන් නම් සමාගම සහ ගුවන් විදුලි සංස්ථාව අතර ගිවිසුමකට එළැඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ඊයේ අනාවරණය කෙරිණි.

එම ගිවිසුමට අදාළ යෝජනාව ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

කෙටි තරංග හා මධ්‍ය තරංග ඔස්සේ විදේශ වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ගුවන් කාලය මිලදී ගැනීමට එම සමාගම අදහස් කරගෙන සිටින බව රජය පවසයි. ලන්ඩනයේ සිට සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවන එන්කොම්පාස් ඩිජිටල් මීඩියා සර්විසස් ලිමිටඩ් විසින් මේ සඳහා වන ව්‍යාපාරික යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ගුවන් කාලය එම ආයතනය වෙත ලබා දීම තුළින් පිළිවෙලින් මාසිකව ඇමෙරිකානු ඩොලර් 49,000ක සහ ඇමෙරිකානු ඩොලර් 16,000ක විදේශ විනිමයක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙත උපයා ගැනීමට හැකියාව පවතින බව රජය පවසයි.

ශ්‍රී ලංකා රජය සහ ජර්මානු ෆෙඩරල් ජනරජයේ විදේශ ගුවන් විදුලි සේවය වන ඩොයිෂ්වෙල් අතර 1980 දී ඇති කරගනු ලැබ ඇති ගිවිසුමකට අනුව මෙම ත්‍රිකුණාමලය ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කර තිබේ.  පසුව 2012 වසරේදී එම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වෙත භාර දී ඇත.  ඉන් අනතුරුව විදේශීය මාධ්‍ය ආයතන සමග එක්ව මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ඔස්සේ වැඩසටහන් ප්‍රචාරය කර ඇතැයි රජය පවසයි.

Visits: 77