ජාතික ඩිජිටල් ප්‍රතිපත්තිය යටතේ නව ඒකක තුනක් ඇරඹීමට ICTA ප්‍රතිව්‍යුහගත කිරීමට යයි

රජයේ නව ප්‍රතිපත්ති රාමුව යටතේ 2020-2025 කාලසීමාව තුළ ක්‍රියාත්මක කළ යුතු ජාතික ඩිජිටල් ප්‍රතිපත්තිය සහ උපායමාර්ග යටතේ අලුතින් ආරම්භ කිරීමට නිර්දේශ කර තිබූ නව වැඩසටහන් තුනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි පවසයි.

එහිදී මෙම ජාතික ඩිජිටල්  ප්‍රතිපත්තිය සහ උපායමාර්ග නිර්දේශ කිරීමේ වගකීම ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙත පැවරී ඇත. ඒ සඳහා එම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජනපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙලෙස අනුමැතිය හිමි වූ නව වැඩසටහන් ඒකක තුන වන්නේ ඩිජිටල් රජය, ඩිජිටල් ආර්ථිකය සහ ඩිජිටල් සේවා යන්නයි.

ඒ අතරින් ඩිජිටල් රජය යටතේ රජයේ ආයතනවල ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ එවැනි වැඩසටහන් මගින් පුරවැසියන් සවි බල ගැන්වීමට කටයුතු කෙරේ.

ඩිජිටල් ආර්ථිකය යටතේ ධාරිතා වර්ධනය, නව තාක්ෂණය හඳුන්වාදීම මගින් නවෝත්පාදනයන්, ව්‍යවසායකත්වය සහ නව සමාගම් ආරම්භ කිරීම සහ ඍජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම මගින් කර්මාන්තයේ වර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සිදු කෙරෙන බව රජය පවසයි.

එසේම ඩිජිටල් සේවා යටතේ රාජ්‍ය සේවාවන් සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ස්ථාපිත කිරීම, කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම, ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලීන් ආරම්භ කර පවත්වාගෙන යාම යන කාර්යයන් සඳහා අවශ්‍ය උපදේශක සේවා සැපයීම වැනි කටයුතු සිදු කෙරේ.

Visits: 66