Huawei රැක ගැනීමට Honor විකුණා දැමීමට යයි

චීනයේ සුප්‍රසිද්ධ තාක්ෂණික උපාංග නිෂ්පාදන සමාගමක් වන Huawei සමාගම සිය අඩුමිල ස්මාට් දුරකතන සන්නාමය වන Honor හි ව්‍යාපාරික කටයුතු අලෙවි කිරීම සඳහා තීරණය කර ඇතැයි පවසයි. විශේෂයෙන්ම සිය  ප්‍රධානතම ස්මාට් දුරකතන සන්නාමය වන Huawei රැක ගැනීම වෙනුවෙන් මෙලෙස Honor විකුණා දැමීමට කටයුතු කරන බව Huawei සමාගම සඳහන් කර සිටියි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන Huawei සමාගම, “Honor සන්නාමය මෙලෙස විකුණා දමන්නේ අපේම රැකීම වෙනුවෙනුයි. අද වනවිට අපගේ ස්මාට් ජංගම දුරකතන නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික උපාංගවල පවතින හිඟතාව නිසා ඇතිව තිබෙන පීඩනයට පිළිතුරු ලෙස මෙම තීරණය ගත්තා.” යනුවෙන් පවසයි.

පවතින වාර්තාවලට අනුව Honor සන්නාමයේ නව හිමිකරුවා වන්නේ Shenzhen Zhixin New Information Technology Co. නම් සමාගමයි. මෙය චීනයේම දකුණු දිග ෂෙන්සෙන් නගර රජයට අයත් සමාගමකි. Huawei හි මූලස්ථානය පිහිටා ඇත්තේද එම ප්‍රදේශයෙහිමය. එහිදී එක්සත් ජනපද ඩොලර් බිලියන 15.2කට මෙම ගනුදෙනුව සිදුවනු ඇතැයි පැවසෙයි.

මෙම Honor සන්නාමයේ ස්මාට් දුරකතන සඳහාද වැඩි වශයෙන් යොදා ගැනුනේ Huawei ස්මාට් දුරකතන සතු තාක්ෂණමය බව සමාගම පවසයි. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් Huawei සමාගම වෙත පනවා ඇති සම්බාධක හේතුවෙන් ඇමෙරිකානු සමාගම් සමගින් එකට එක්ව කටයුතු කිරීම අවහිර කර ඇති නිසා එම ව්‍යපාරික මෙහෙයුම් සාර්ථක කරගැනීමට හැකියාව ලැබී නොමැත.

ඒ අනුව Honor සන්නාමයේ නව හිමිකරුවා යටතේ එම නිෂ්පාදන වෙත සිය නිෂ්පාදන තවදුරටත් දියුණු කරගැනීමේ අවස්ථාව හිමි වන බවත්, Qualcomm සහ Google යන ඇමෙරිකානු සමාගම් සමගින් එකඟතා වෙත පිවිසීමේ අවස්ථාව පවතින බවත් Huawei සමාගම සඳහන් කරයි. ඇමෙරිකානු රජයේ  බලපෑම මත Google සමාගම මේ වනවිටත් සිය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය Huawei වෙත ලබා දීම අත්හිටුවා තිබේ.

Huawei සමාගමට අනුව මෙම Honor සන්නාමයේ ස්මාට් දුරකතන මිලියන 70කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව නිෂ්පාදනය කරයි. විශේෂයෙන්ම මැදි මට්ටමේ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් මෙම  Honor සන්නාමය ඉදිරිපත් කර තිබුණි. Huawei අලෙවි සැල් හා සමගාමීව මෙම Honor සන්නාමයේ අලෙවි සැල්ද පිහිටුවා තිබුණි.

Visits: 128