යහපත් අයවැයක බලාපොරොත්තු සමග ආයෝජන විශ්වාසය ඉහළ යයි

ආසන්න දින කිහිපය හා සැසඳීමේදී අද (නොවැම්බර් 17) වැනිදා කොළඹ කොටස් හුවමාරුව තුළ ගනුදෙනු සාර්ථක ගනුදෙනුවක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම නිෂ්පාදන අංශයේ සමාගම් තුළ ඇති වූ ඉහළ යාම් මේ සඳහා දායක විය. එසේම අද දිනයේදී ඉදිරිපත් වූ අයවැය ආර්ථිකය වෙත ධනාත්මක දායකත්වයක් ලබා දෙනු ඇතැයි යන ආයෝජක විශ්වාසයත් දිනයේ දර්ශක ධන අගයකට පත්වීමට හේතු විය.

එහිදී විශේෂයෙන්ම කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් මේ වනවිට මතුව තිබීමත් ආයෝජකයන් තුළ කනස්සල්ල මතු කර තිබේ. මේ අතර බොහෝ ආයෝජකයන් හෙට දිනයේදී 2021 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරන තෙක් කල් මරමින් සිටින බවත් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,077.27ත් ඒකක 6,114.68ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,108.93 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 16) දිනයට සාපේක්ෂව එය ඒකක 32.01 ක් එනම් +0.53%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව කොමර්ෂල් බැංකුව සිදු කළ ගනුදෙනුවක් අද දවසේ පිරිවැටුමෙන් 2%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 120ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 58ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+6.72), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+4.55), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+2.41),  රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+2.24), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+2.05),  කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-4.37), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-2.21), බුකිට්ඩරාහ් පීඑල්සී BUKI (-2.18),  කොමර්ෂල් බැංකුව COMB (-1.51) සහ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-1.2) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,395.71 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 16) දිනයට සාපේක්ෂව ඒකක 9.02 ක එනම් +0.38%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.21ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 16දා) වාර්තා කළ රුපියල් බිලියන 1.39ට සාපේක්ෂව 59%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.66ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.57%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 88.14ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 138.13 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 49.99කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.69ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 29.2කි. එසේම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 49.2ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 760ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 34% ක අගයක් ගෙන තිබේ. ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 481ක සහ රුපියල් මිලියන 312ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 199