පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ මුදල් ගනුදෙනු සඳහා මොබයිල් යෙදුම්

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ  හැකි ඉක්මණින්ම විවෘත කිරීමෙන් පසු, එහි මුදල් ගනුදෙනු ඇතුළු කටයුතු අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක මුදල් ගෙවීමේ මොබයිල් ඇප් (ජංගම යෙදවුම්) මගින් සිදු කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන පිළිබඳව විමසා බැලීමේ සාකච්ඡාවක් අද පෙරවරුවේදී අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.

විශේෂයෙන්ම මුදල් නෝට්ටු ගනුදෙනු කිරීම හරහාත් කොරෝනා වෛරසය පැතිරෙන බවට සනාථ කර ඇති හෙයින්, තොග මත්ස්‍ය වෙළෙඳ කටයුතුවලදී මුදල් නෝට්ටු හුවමාරුව වෙනුවට මෙවැනි ජංගම යෙදවුම් හරහා මුදල් හුවමාරුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලංකා බැංකු වේ නිලධාරීන් හා සාකච්ඡා පවත්වා ඇත.

මෙහිදී දැනට වසා දමා ඇති පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ නැවත ව්‍යාපාර කටයුතු සඳහා ආරම්භ කිරීමේ උත්සාහයේ පළමු පියවර ලෙස තොග ව්‍යාපාර කටයුතු ආරමහ්භ කිරීම පිළිබඳව සාකච්ඡා කෙරී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, ලංකා බැංකු නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

Visits: 55