කොරෝනාවෙන් හානි වූ කොළඹ වරායේ මෙහෙයුම් මේ සතියේ යථාවත් කරනවාලු

කොවිඩ්-19 ආසාදිත සේවකයන් හමුවීම හේතුවෙන් අඩාල වූ කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු මේ සතියේදී යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව මෙම සතිය තුළදී යළිත් සිය පර්යන්ත තුළ කාර්යක්ෂමතාව සාමාන්‍ය මට්ටමට පත් කරගැනීමට  කටයුතු යොදන බවත් සභාපතිවරයා සඳහන් කරයි.

මෙහිදී කොළඹ වරායේ සේවකයන් කිහිප දෙනෙකුම කොවිඩ්-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීම සහ ඇතැම් පළාත් වෙත පනවා තිබූ සංචරණ සීමා නිසා සේවයට වාර්තා කිරීම් සිදු කළ නොහැකිවීමේ තත්ත්වයන් මත සිය සේවකයන්ගෙන් 30%ක පමණ අඩුපාඩුවකින් මෙහෙයුම් පවත්වාගෙන යාමට සිදු වූ බවත් සභාපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක

“මෙම සතිය ඇතුළතදී කොළඹ වරායේ මෙහෙයුම් සාමාන්‍ය කාර්යක්ෂමතාවයෙන් පවත්වා ගෙන යමින් යළිත් පෙර පැවැති සාමාන්‍ය තත්ත්වයට පත් කරගැනීමට අපට හැකි වේවි.” සභාපතිවරයා සඳහන් කරයි.

වරාය වෙත අනුයුක්ත කරන අමතර සේවකයන්ද සමගින් මෙම තත්ත්වයට උදා කරගත හැකි වනු ඇතැයි සභාපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ. එහිදී පුහුණු සේවකයන්ගේ අඩුපාඩු පැවතීම නිසා මානව සම්පත් සැපයුම් නියෝජිතයන් හරහා සේවකයන් ලබා ගැනීමටත් කටයුතු යොදා ඇතැයි සභාපතිවරයා සඳහන් කර තිබේ.

මේ අතර, දැනට කොවිඩ්-19 ආසාදිත බවට හඳනාගෙන ඇති සේවකයන් සියලු දෙනාම රෝහල්ගත කෙරී ඇති බවත්, ඔවුන්ගේ ළගම ආශ්‍රිතයන් සියලු දෙනාමත් මේ වනවිට හඳුනාගෙන ඇතැයි  පවසයි. එසේම ඉදිරියේදීද අහඹු ලෙස කොළඹ වරාය තුළ පීසීආර් පරීක්ෂණ සිදු කරමින් තවත් ආසාදිතයන් හමුවේදැයි පරීක්ෂා කිරීම් සිදු කරන බවත් සභාපතිවරයා අවධාරණය කර සිටියි.

සභාපතිවරයාගේ සම්පූර්ණ නිවේදනය මෙසේය,

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සමුද්‍රීය කේ‍ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශවයන් වෙත නව අභියෝගයක් වෙත මුහුණු පෑමට සිදුව තිබේ.  එය සමස්ථයක් ලෙස ගෝලීය අර්ථක්‍රමය ම මුහුණ දෙන අභියෝගයකි.  මේ සඳහා වරාය හා සමුද්‍රීය කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාගේ සහ අදාල පාර්ශවයන්ගේ අවංක කැපවීම හා එකමුතු බව උදෙක්ම අපේක්‍ෂා කරමි. මෙම අධි වසංගත තත්ත්වය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට දැඩි අභියෝග එල්ල වී තිබේ.  එහි ප්‍රතිඵලයක් වශයෙන් බහුතරයක් වූ බහලු නෞකා සහ අනෙකුත් නෞකාවන්ට ලෝකයේ බොහෝ වරායන් වෙත ප්‍රවේශවීමට නොහැකි විය.

මා විසින් මීට පෙර නිකුත් කරනු ලැබූ පණිවිඩයේ සඳහන් කළ පරිදි, ශ්‍රී ලංකාව කිසිදු තත්ත්වයක් යටතේ සිය වගකීම් අත් නොහැරී ය.  එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ වරායයන් බහලු නෞකා, මගී නෞකා, තොග කඩන හෙවත් සාම්ප්‍රදායික නැව්බඩු මෙහෙයුම් සහ අනෙකුත් නාවික සේවාවන් අඛණ්ඩව සපයනු ලැබීය.  එහිදී අප විසින් සේවක කාර්ය මණ්ඩල හුවමාරු හා එම ක්‍රියාදාමයන්ට හා ඔවුන්ගේ සෞඛ්‍යමය තත්ත්වය සුරක්‍ෂිත කිරීමට ප්‍රමුඛතාවය ලබා දෙන ලදි.  විශේෂයෙන්ම ගෝලීය සැපයුම් දාමයේ පළමු ගාමක බලවේගය නාවිකයින් බව මැනවින් වටහා ගනිමින් අදාල සියලූ සෞඛ්‍යාරක්‍ෂිත ආරක්‍ෂණ ක්‍රමවේදයන් අනුගමනය කළෙමු.  නිරන්තරයෙන් අපගේ ප්‍රමුඛතාව වන්නේ සියලු දෙනා හැකි තරම් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ය.   

කොළඹ වරායේ සහ වෙනත් පර්යන්තවල සේවක මහතුන් කිහිප දෙනෙකුට කොවිඞ්-19 වෛරසය ආසාදනය වූ බව ඔබ සෑමදෙනා දන්නා කාරණයකි.  එය කොළඹ වරායේ මෙහෙයුම් ක්‍රියාවලියට යම් තරමින් බලපා ඇත.  නමුත් එවන් වූ කෙටි බාධාවන් කඩිනමින් විසදා ගැනීමට කටයුතු කර ඇති අතර සියලුම වරායන් වල මෙහෙයුම් සහ අනෙකුත් සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට හැකි විය.  මෙම වෛරසය ආසාදනය වූ සියලුම සේවක මහතුන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලදි.  එම ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් වහාම හඳුනාගෙන පිළිවෙලින් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රමෝපායන් අනුගමය කරමින් ක්‍රමානුකූල සෞඛ්‍ය ක්‍රියා පටිපාටි සහ නිරෝධායන ක්‍රමවේදයන්ට නිසි ලෙසින් යොමු කොට ඇත.  මේ අතර අහඹු ලෙස තෝරාගත් සේවක මහතුන්ගේ සහ වරාය භාවිතා කරන්නන්ගේ සාම්පල පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා අඛණ්ඩව යොමු කරනු ලැබේ.  වරාය පරිශ්‍රයේ කටයුතු කරන සෑම අයවලෙකු ට ම දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල විය හැකි සියලු පහසුකම් සලසා තිබේ. 

කොවිඞ්-19 හේතුවෙන් සියළුම පුද්ගලයන්ට සහ ප්‍රජාවන් වෙත ඇතිවිය හැකි අවධානම කළමණාකරණය හා බලපෑම අවම කිරීම සඳහා නිසි පියවර ක්‍රියාත්මක කර ඇත. කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සේවක මහතුන්ගෙන් 30% ක් පමණ තවමත් සිය නිවෙස්වල නිරෝධායනයට ලක්කිරීමට සිදු වූ අතර, වරාය පරිශ්‍රයේ බහාලු මෙහෙයුම් කටයුතු සඳහා පුහුණු මානව සම්පත් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මානව සම්පත් සැපයුම් සමාගම් හරහා අතිරේක කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. මේ තුළින් වරායේ මෙහෙයුම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, මෙම සතිය තුළ කොළඹ වරාය එහි සුපුරුදු කාර්යක්‍ෂමතාවයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවට අපට සහතික විය හැකි ය.

Visits: 75