ශ්‍රී ලංකා නිෂ්පාදනවලට චීනයේ වැඩි ඉල්ලුමකට මඟ පෑදෙයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා චීන වෙළඳපොළ දිනා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කෙරුණු බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. මීට අදාළ සාකච්ඡාවක් හා ප්‍රදර්ශනයක්  අන්තර්ජාලය හරහා පැවැති අතර එය වඩා සාර්ථක වූ බව චීනයේ ශ්‍රී ලංකා වැඩ බලන තානාපති කේ.කේ. යෝගනාදන් මහතා සඳහන් කර සිටියි.

චීනයේ ෂැංහයි නුවර පැවැති මෙම අපනයන ප්‍රදර්ශනයට හා සාකච්ඡාවට චීනයේ තානාපති කාර්යාලය, ෂැංහයි කොන්සල් ජෙනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, හා විදේශ අමාත්‍යාංශය ද සම්බන්ධ වී තිබේ. මෙම අපනයන ප්‍රදර්ශනය 2020 නොවැම්බර් 05 දා සිට 10 දක්වා දින පහක් පුරා සංවිධානය වී ඇත.    

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම, ඉහළ මට්ටමේ පළාත් නිලධාරීන් හත් දෙනෙකු සමඟ චීනයේ ඔවුන්ගේ නියෝජිතයින් හරහා තේ, පොල් නිෂ්පාදන, ලංකා කුරුඳු ඇතුළු කුළුබඩු, ශාකසාර නිෂ්පාදන, රබර් නිෂ්පාදන සහ රසකැවිලි ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම අනුව චීන වෙළඳපොළ වෙත කෙරෙන ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ නැංවීම සහ දෙරට අතර වෙළඳ ශේෂය අඩු කිරීමේ අරමුණින් යුතුව, චීනය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, මෙම සහභාගීත්වය සඳහා ශ්‍රී ලාංකික නියෝජිතායතන සමඟ සම්බන්ධීකරණය සිදු කර ඇත.

චීන බැංකුව හා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරික ගැළපුම් සම්මන්ත්‍රණ සඳහා ශ්‍රී ලාංකික සමාගම් 27 ක් අන්තර්ජාලය හරහා සහභාගී විය.

මීට අමතරව, ශ්‍රී ලංකා නිෂ්පාදන පිළිබඳ වීඩියෝ දර්ශන ද මණ්ඩපයේ ප්‍රදර්ශනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සංචාරකයින් සඳහා ආකර්ෂණීය ස්ථාන, වරාය නගරයේ හා හම්බන්තොට කර්මාන්ත කලාපයේ ආයෝජන අවස්ථා ද මෙම වීඩියෝ පටයට ඇතුළත් විය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නැටුම් හා සංගීතය තිරය මත ප්‍රදර්ශනය වූ අතර, එය අමුත්තන්ගේ අවධානය දිනා ගත් බව  පැවසෙයි.

වෝමායි.කොම් (Womai.com) මාර්ගගත වේදිකාවේ මාර්ගගත ශ්‍රී ලංකා මණ්ඩපයක් නිර්මාණය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අපනයන සංවර්ධන මණ්ඩලය සහ චයිනා ඔයිල් ඇන්ඩ් ෆුඩ් ස්ටෆ්ස් සමාගම (COFCO) අතර අත්සන් තැබීමද සිදුව ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී  ප්‍රභාෂ් සුබසිංහ මහතා සිය අත්සන අවබෝධතා ගිවිසුමේ වීඩියෝ සබැඳිය හරහා තබා තිබේ.

COFCO යනු රජය සතු ව්‍යවසායයක් වන අතර, එය 2009 දී ආරම්භ කරන ලද්දකි. COFCO Womai යනු චීනයේ බීජිං හි මූලස්ථානය පිහිටි, චීනයේ පළමු විශාල පරිමාණ ව්‍යාපාර-පාරිභෝගික අන්තර්ජාලය පදනම් කරගත් ආහාර ඊ-වාණිජ්‍ය වේදිකාවයි. එය COFCO සමූහයේ පූර්ණ හිමිකාරීත්වය යටතේ පවතින සමාගමකි.

2016 දී ෆෝචූන් සඟරාව අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක වත්කම් සහිත පුද්ගලික සමාගම් පිළිබඳ යුනිකෝන් ලැයිස්තුවේ 170 වැන්න ලෙස මෙම සමාගම ලැයිස්තුගත කළේය. මෙම වේදිකාව තුළ තම නිෂ්පාදන අලෙවි කිරීමට කැමති ශ්‍රී ලාංකික නිෂ්පාදකයින්ට අපනයන සංවර්ධන මණ්ඩලය හා සම්බන්ධ වන ලෙසද චීන තානාපති කාර්යාලය ඉල්ලා සිටියි.

JD.com වේදිකාවේ ශ්‍රී ලංකා නිෂ්පාදන ප්‍රවර්ධනය ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර සමාගමක් වන සීමාසහිත ප්‍රෙස්ටීජ් ඉන්ටර්නැෂනල් සමාගමට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් අත්සන් කරන ලද නිර්දේශ ලිපියක් භාරදීම, ශ්‍රී ලංකා මණ්ඩපයේ කැපී පෙනෙන සිදුවීමක් වී තිබේ.

JD.com යනු චීනයේ වඩාත්ම ජනප්‍රිය මාර්ගගත වේදිකාව වන අතර, එය ෆොචූන් 500 සමාගම් අතුරින් එකකි. JD.com හි වාර්ෂික ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 420 ක් වන අතර, එය ඇමරිකානු ඩොලර් බිලියන 83 ක වාර්ෂික ආදායමක් වාර්තා කරයි. එහි මාර්ගගත වේදිකාවේ ඇණවුම්වලින් 90% ක්ම නිපදවා මෙම මාර්ගගත වේදිකා දෙක මගින්, ශ්‍රී ලංකා නිෂ්පාදනවල මාර්ගගත අලෙවිකරණ ඉතිහාසයේ උත්ප්‍රේරකයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අත්සන් තැබීමේ උත්සවය අමතමින් තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති කේ. කේ. යෝගනාදන් මහතා, ශ්‍රී ලංකා නිෂ්පාදන අපනයනය ඉහළ නැංවීම පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා තානාපති කාර්යාලය උපරිම උත්සාහය දරන බව ප්‍රකාශ කර තිබේ.

චීන ජාත්‍යන්තර අපනයන ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා, මහජන චීන සමූහාණ්ඩුව සඳහා නම්කළ තානාපති ආචාර්ය පාලිත කොහොණ මැතිතුමා තානාපති කාර්යාලයට මඟ පෙන්වූ බවත්, තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා අවබෝධතා ගිවිසුම සහ මාර්ගගත වේදිකා ආරම්භ කිරීමට ඉවහල් වූ බවත් ඔහු පවසා ඇත.

ශ්‍රී ලංකාවේ සාර්ථක සහභාගීත්වය සඳහා ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ද වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් මනෝරි මල්ලිකාරච්චි මහත්මිය සහ තේ ප්‍රවර්ධන තෙවැනි ලේකම් සම්පත් පෙරේරා මහතා ද මේ සඳහා සහභාගී වී සිටි බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Visits: 154