ඩයලොග් ටීවී අලාභ වැඩි කරමින් මුල් මාස 9ට ඩයලොග් සමූහයේ ආදායම 1% කින් වර්ධනය වුණේ මෙහෙමයි

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම අයත් ඩයලොග් ආසිආටා සමූහය මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ වසරේ මාස නවය සඳහා රුපියල් බිලියන 87.9ක ඒකාබද්ධ ආදායමක් හිමි කරගෙන ඇතැයි පවසයි. එය පසුගිය වසරේ මුල් මාස නවය තුළදී සමූහය අත්පත් කරගත් ආදායමට සාපේක්ෂව 1% ක වර්ධනයකි.

එසේම පළමු මාස නවයේදී සමූහයේ පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්‍රමක්ෂ ගැලපීමට පෙර දෙවැනි කාර්තුවේදී සිදු කළ ආදායම් ඉපැයීම්  (EBITDA) රුපියල් බිලියන 36.5ක් බවට  පත්ව තිබේ. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී ලැබුණු ආදායම හා සාපේක්ෂව 4% ක වර්ධනයකි. සමූහය තුළ වියදම් පාලනය සඳහා ගත් ක්‍රියාමාර්ග ඊට හේතු වූ බව සමාගම සඳහන් කරයි.

මෙහිදී කොවිඩ්-19 වසංගතයේ අභියෝග මධ්‍යයේ වුවද සමූහය ජංගම දුරකතන, ස්ථාවර සබඳතා සහ ජාත්‍යන්තර ව්‍යාපාර තුළින් ස්ථාවර කාර්ය සාධනයක් පෙන්නුම් කරමින් වසරේ තෙවැනි කාර්තුව නිමාවට පත් කළ බව සමාගම පවසයි.

එහිදී සමූහයේ  බදු පසු ලාභයද රුපියල් බිලියන 8.6ක් බවට පත්ව ඇති අතර එය පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 3% ක වර්ධනයකි.

මේ තත්ත්වයත් සමගින්ම ඩයලොග් ආසිආටා සමූහට මෙම මාස නවයක කාල සීමාවේදී ශ්‍රී ලංකා රජය වෙත රුපියල්  බිලියන 13.8ක බදු මුදලක් ගෙවීමටද සමත්ව ඇතැයි පවසයි. එහිදී ඍජු බදු ලෙස රුපියල් බිලියන 4.1ක් ද රජය වෙනුවෙන් එකතු කරගත් පාරිභෝජන බදු ලෙස රුපියල් බිලියන 9.7ක්ද වන බව සමාගම සඳ හන් කරයි.

එසේම මෙම වසරේ මුල් මාස නවය තුළදී ඩයලොග් ආසිආටා සමූහය සිය ව්‍යාපාරය වෙත සිදු කර ඇති ප්‍රාග්ධන ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 12.0 කි. එහිදී මූලිකවම අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණය මෙන්ම ඩයලොග් හි සේවා කටයුතු ඩිජිටල්කරණයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සහ බ්‍රෝඩ්බෑන්ඩ් ක්ෂේත්‍රය තුළ සමූහයේ නායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු වූ යටිතල පහසුකම් දියුණුව සඳහා බවත් සමාගම පවසයි.

මෙහිදී මුල් මාස නවයේදී එම සමූහයේ ආදායමෙන් 69% ක ප්‍රතිශතයක් සඳහා ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම දායකත්වය ලබා දී ඇත.  එහිදී තුන්වැනි කාර්තුව සඳහා  සමාගමේ ආදායම රුපියල් බිලියන 21.1 ක් වන අතර පළමු මාස නවය සඳහා එය රුපියල් බිලියන 60.6 කි. එහෙත් මෙම අවස්ථාවන් පසුගිය වසරේ එම කාලසීමාවන්ට සාපේක්ෂව 3% ක සහ 2% ක ආදායම් අඩුවිමක් පෙන්නුම් කර ඇති අතර, මූලිකවම කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ සිය ප්‍රධාන ආදායම් කඩා වැටීම් ඊට හේතු වූ බව සමාගම පවසයි.

මේ අතර ඩයලොග් ටෙලිවිෂන් සමාගම තවදුරටත් මෙරට ඩිජිටල් පේ ටෙලිවිෂන් අවකාශයේ මුල් තැන හිමි කරගෙන සිටින බවත් එහි දායකත්ව වර්ධනය 2020 තෙවැනි කාර්තුවේදී ඊට පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව 11%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත් ඩයලොග් ටීවි හරහා එම කාර්තුවේදී ලැබූ ආදායම රුපියල් බිලියන 2.2ක් දක්වා පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 3%ක අඩුවීමක් පෙන්නුම් කර ඇත.

විශේෂයෙන්ම වසංගතයේ බලපෑමත් සමග පාරිභෝගිකයන්ගේ ජීවන වියදම් පිළිබඳ වන පීඩනය තවදුරටත් එලෙසින්ම පැවැතීම ඊට හේතුව බව සමාගම පවසයි. එසේම 2020 සැප්තැම්බර් 30 වැනිදා වනවිට ගත වුණු මාස නවය තුළදී මෙම ආදායම රුපියල් බිලියන 6.5ක් ලෙස පෙර වසරට සාපේක්ෂව 1% කින් අඩුව තිබේ. මේ තත්ත්වයත් සමගින්ම ඩයලොග් ටීවී සමාගම මුල් මාස නවය තුළදී වාර්තා කර ඇති දළ අලාභය රුපියල් මිලියන 845ක් වන අතර පසුගිය 2019 වසරේ එම කාලසීමාවේදී එය රුපියල් මිලියන 335ක් විය.

මීට අමතරව සමූහයේ ස්ථාවර දුරකතන සන්නිවේදන, බ්‍රෝඩ්බෑන්ඩ් සහ අන්තර්ජාල ව්‍යපාරයට අදාළ සමාගම වන ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් සමාගමද 2020 තෙවැනි කාර්තුවේදී සිය ආදායම 10%කින් වර්ධනය කරගනිමින් රුපියල් බිලියන 8ක් වාර්තා කිරීමට සමත්ව ඇත. එසේම වසරේ මුල් මාස නවයේදී එය රුපියල් බිලියන 23.3ක් ලෙස පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 13%ක වර්ධනයක් දක්වා තිබේ.

Visits: 427