බ්ලැක්ස්ටෝන් සමූහය පිරාමාල් සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළ කරලා?

ඉන්දියාවේ පිරාමාල් සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක  වීදුරු නිෂ්පාදන සමාගමක් වන පිරාමාල් ග්ලාස් සමාගම ඩොලර් බිලියනයකට මිලදී ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආයෝජන සමාගමක් වන බ්ලැක්ස්ටෝන් ගෘප් ඉන්කෝපරේෂන් සමාගම කැමැත්ත පළ කර ඇතැයි පවසයි.

ජාත්‍යන්තර බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මගින් මෙම කරුණු අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් පිරාමාල් සමූහය හෝ බ්ලැක්ස්ටෝන් ඉන්කෝපරේෂන් සමාගම මේ පිලිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

එහෙත් පිරාමාල් සමාගමේ ආරංචි මාර්ගවලට අනුව මෙම ගනුදෙනුව ඉදිරි සති කිහිපයේදී නිමා කිරීම සැලසුම වී ඇත. එහිදී බ්ලැක්ස්ටෝන් ගෘප් ඉන්කෝපරේෂන් සමාගම, මෙම ගනුදෙනුව සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය වෙනුවෙන් බැංකු හරහා වසර හතරකින් නැවත ගෙවන ලෙස ඩොලර් මිලියන 400ක ණය මුදලක් ලබා ගැනීමටත් සූදානමින් සිටින බවත් පැවසෙයි.

ඉන්දියාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරික අජේ පිරාමාල් වෙත අයත් පිරාමාල් එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් සමාගමේ පිරාමාල් ග්ලාස් නිෂ්පාදන කර්මාන්තශාලා ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇත. සෞඛ්‍ය සේවා, දේපළ වෙළෙඳාම්, මූල්‍ය ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක ව්‍යාප්තව ඇති පිරාමාල් සමූහය සිය පිරාමාල් ග්ලාස් ව්‍යාපාරය අලෙවි කර ඒ හරහා සිය සමූහයේ ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීමට අදහස් කරගෙන සිටියි.

පිරාමාල් සමූහය විසින් ඉන්දියාවේ ගුජරාට් ග්ලාස් සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව 1984 වසරේදී පිරාමාල් ග්ලාස් සමූහය පිහිටවුණි. එසේම ශ්‍රී ලංකාවේ සිලෝන් ග්ලාස් සමාගම අත්පත් කරගෙන එම සමූහය ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර වෙත පිවිසුණි. අද වනවිට එක්සත් ජනපදයේද පිරාමාල් ග්ලාස් කර්මාන්තශාලාවක් පිහිටා තිබේ. මෙම කර්මාන්තශාලා සතු දෛනික නිෂ්පාදන ධාරිතාව ටොන් 1,475 කි.

Visits: 673