2020 මුල් මාස 9ට සම්පත් බැංකුවේ ලාභ අඩු වුණේ මෙහෙමලු

සම්පත් බැංකුව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ මාස නවයක කාලය තුළදී සිය බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 6.99ක් වාර්තා කළ බවත්, බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 5.09ක් වාර්තා කළ බවත් පවසයි.

කෙසේ වෙතත් මෙම ලාභ වාර්තා කිරීම් ඊට පෙර වසරේ එම මාස නවයක කාලය තුළදී වාර්තා කළ ලාභ හා සැසඳීමේදී පිළිවෙලින් 33.1%කින් සහ 22%කින් අඩුවීමක් බවද බැංකුව සඳහන් කරයි.

බැංකුව සඳහන් කරන ආකාරයට මේ වසරේ ජූලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ තෙවැනි කාර්තුව තුළදී එහි බදු පෙර ලාභය රුපියල් බිලියන 1.66 කි. එහෙත් එය 2019  වසරේ එම කාර්තුවේදී ලැබූ ලාභයට සාපේක්ෂව 64.2%ක අඩුවීමකි. එසේම මේ වසරේ තෙවැනි කාර්තුවේදී බදු පසු ලාභයත් රුපියල්  බිලියන 1.12ක් ලෙස සටහන්ව ඇත.  එහෙත් එය 2019 වසරේ එම කාර්තුවේදී වාර්තා කළ බදු පසු ලාභයට සාපේක්ෂව 53.8%ක අඩුවීමකි.

මේ අතර මේ වසරේ ගත වූ පළමු මාස නවයක කාලය තුළදී සමූහය ලැබූ බදු පෙර ලාභය මෙන්ම බදු පසු ලාභයත් කැපී පෙනෙන ලෙස අඩු වී ඇත. ඒ අනුව මෙම මාස නවය තුළදී සමූහය බදු පෙර ලෙස රුපියල් බිලියන 7.31ක් වාර්තා කර ඇති අතර එය ඊට පෙර වසරේ පළමු මාස නවයට සාපේක්ෂව 32.6%ක අඩු වීමකි. එසේම මෙම මාස නවය තුළ බදු පසු ලාභය රුපියල් බිලියන 5.21ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 23%ක අඩුවීමකි.

මෙලෙස 2020 වසරේ මුල් මාස නවය තුළදී කැපී පෙනෙන ලෙස සිය ලාභ අඩුවීම සඳහා කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය මෙන්ම ඒ හරහා ගෝලීය සහ දේශීය ආර්ථිකයන්හි සිදු වූ කැපී පෙනෙන කඩා වැටීම් හේතු වූ බව සම්පත් බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

එසේම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස් වෙත ණය පමා සහනය ඇතුළුව අඩු පොළියට ණය ලබා දීම සඳහා මහ බැංකුව ලබා දුන් උපදෙස් අනුව කටයුතු කිරීම මෙලෙස සිය ලාභ අඩුවීමට හේතුවූ බව සම්පත් බැංකුව සඳහන් කරයි.

“ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථිකය යථාවත් කිරීමේ අරමුණින් සහන ලබා දීමක් ලෙස තවදුරටත් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින්, ප්‍රතිපත්ති පොළී අනුපාත කපා දැමීමක් සිදු කළා. ඒ යටතේ ගනුදෙනුකරුවන්ට ණය පමාසහන කාල ලබා දීමක් මෙන්ම අඩු පොළියක් යටතේ ණය ලබා දීමටත් නියම කෙරුණා. එහෙත් මෙම තත්ත්වයන් සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මුල් මාස නවය තුළදී බැංකුවේ දළ පොළී ආදායම් වෙත බලපෑවා. 2019  වසරේ මුල් මාස නවයට සාපේක්ෂව මේ වසරේ මුල් මාස නවයේදී සම්පත් බැංකුවේ දළ පොළී ආදායම් රුපියල් බිලියන 25.99ක් දක්වා 15.5% කින් අඩුව තිබෙනවා.” බැංකුව පවසයි.

එසේම සමස්තයක් ලෙස ගත් විට පොළී ආදායම් ලැබීම් මෙම කාලසීමාව තුළදී රුපියල් බිලියන 68.02 ක් ලෙස රුපියල් බිලියන 9.67 කින් අඩු වී තිබේ. 2019 වසරේ එම කාලසීමාවේදී එය රුපියල් බිලියන 77.7 ක් වී ඇත. ඒ අනුව මෙය 12.4%ක අඩුවීමකි.

එසේම සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මුල් මාස 9 දී බැංකුවේ පොළී වියදම්ද රුපියල් බිලියන 42.02ක් ලෙස 2019 එම කාලසීමාවේදී වාර්තා කළ රුපියල් බිලියන 46.91ට සාපේක්ෂව 10.40%ක අඩුවීමක් පෙන්නුම් කර ඇත.

මේ අතර ගාස්තු අය කරගැනීමේ සහ පැවරීමේ ආදායම්ද මෙම කාලසීමාවේදී රුපියල් බිලියන 5.99ක් ලෙස සටහන්ව ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 18%ක අඩුවීමකි. ආර්ථික කඩා වැටීම හරහා ණය සඳහා වන අඩු ඉල්ලුම මෙලෙස ණය හා සම්බන්ධ ගාස්තු ආදායම් අඩු වීමට හේතු වී ඇත.

එසේම වසංගත තත්ත්වය හේතුවෙන් මෙම කාලසීමාවේදී ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයද පහත වැටී ඇති අතර, එම කාඩ්පත් හරහා ලැබෙන ආදායම්ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. කෙසේ වෙතත් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද හරහා සිදු කරන ගනුදෙනු සඳහා ලැබිය යුතු ගාස්තු සහ පැවරීම් ආදායම් මෙම කාලසීමාවේදී ඉහළ ගොස් තිබේ. ලොක්ඩවුන් සීමා හේතුවෙන් වැඩි වශයෙන් බැංකුවේ ඩිජිටල් නිෂ්පාදන භාවිත කිරීම ඊට හේතුව බවත් බැංකුව පවසයි.

Visits: 530