2020 දෙවැනි කාර්තුවේදී හේමාස් හෝල්ඩිංග්ස් සමූහය රුපියල් බිලියන 17.4ක ආදායමක් වාර්තා කරයි

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සැප්තැම්බර් 30 වැනිදා අවසන් වූ 2020/2021 මූල්‍ය වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් බිලියන 17.4ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇතැයි පවසයි. ඒ අනුව මෙය පසුගිය මූල්‍ය වසරේ එම කාලසීමාවේදී සමූහය වාර්තා කළ ආදායමට සාපේක්ෂව 11%ක වර්ධනයකි.

එසේම මෙම කාර්තුමය කාලසීමාව තුළදී සමූහයේ මෙහෙයුම් ලාභයද රුපියල් බිලියන 2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 188%ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයිද සමාගම පවසයි. පසුගිය වසරේදී එම කාර්තුවේදී එය රුපියල් මිලියන 700ක් විය.

මේ අතර හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය 2020/2021 මූල්‍ය වසර සඳහා වූ බදු පෙර ලාභයද පසුගිය 2019/2020 මූල්‍ය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව 258%ක වර්ධනයක් පෙන්වමින් රුපියල් බිලියන 1.8ක් දක්වා ඉහළ නැග ඇත. එසේම සමූහයේ බදු පසු ලාභයද 474%ක වර්ධනයක් පෙන්වමින් රුපියල් බිලියන 1.4ක් දක්වා  ඉහළ නැග තිබේ.

මේ අතර 2020/2021 මූල්‍ය වසරේ පළමු අර්ධයේදී සමූහයේ සමුච්චිත ආදායමද රුපියල් බිලියන 30.4ක් දක්වා පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 5%කින් වර්ධනය වී ඇත. එම පළමු අර්ධය තුළදී සමූහයේ මෙහෙයුම් ලාභයද රුපියල් බිලියන 2.4ක් දක්වා 239%කින් ඉහළ නැග තිබේ. එසේම පළමු අර්ධයේදී බදු පෙර ලාභය රුපියල් බිලියන 2.07ක් දක්වා 453%කින්ද, බදු පසු ලාභය රුපියල් බිලියන 1.5ක් දක්වා 603%කින්ද වර්ධනය වී තිබේ.

විශේෂයෙන්ම පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව බලපෑමකට ලක් වූ පාරිභෝගික සහ සෞඛ්‍ය සත්කාරක ක්ෂේත්‍රය තුළ පෙන්නුම් කළ යළි නගා සිටීම මෙම ආදායම හිමිවීම සඳහා හේතු වූ බව සමූහය පවසයි. එසේම සමූහයේ කාර්ය සාධනය ඉහළ යාම මෙන්ම පිරිවැය කලමනාකරණය සහ කාර්යක්ෂමතාව වැඩකිරීම සඳහා ගෙන ආ මුලපිරීම්ද සමූහයේ වර්ධනයට හේතුවී ඇතැයි පවසයි.

ඒ අනුව සෞඛ්‍ය සත්කාර අංශය තුළ 2020/2021 මූල්‍ය වසරේ දෙවැනි කාර්තුවේදී පෙන්නුම් කළ ආදායම් වර්ධනය රුපියල් බිලියන 9.3 ක් බවට පත්ව ඇත. පසුගිය මූල්‍ය වසරේ එම කාලසීමාවේදී එය බිලියන 7.6ක් විය. එසේම එම අංශයේ බදු පෙර ලාභය රුපියල් මිලියන 835ක් වී තිබේ. එය පසුගිය වසරේදී රුපියල් මිලියන 452ක් විය.

එසේම පාරිභෝගික භාණ්ඩ අංශය තුළ දෙවැනි කාර්තුවේදී සිදුවුණු ආදායම් වර්ධනය රුපියල් බිලියන 7.4 කි. පසුගිය වසරේදී එය බිලියන 6.7 ක් විය. එම කාලසීමාවේදී අදාළ අංශයේ බදු පෙර ලාභයද රුපියල් මිලියන 456 සිට රුපියල් මිලියන 920 දක්වා ඉහල නැග තිබේ.

හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය සතු සන්නාම

හේමාස් සමූහය යටතේ පවතින භාණ්ඩ ප්‍රවාහන ලොජිස්ටික් සේවා හරහා මෙම කාර්තුවේදී ලබාගෙන ඇති ආදායම රුපියල් මිලියන 503 කි. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී ඉපැයූ ආදායම වූ රුපියල් මිලියන 697ට සාපේක්ෂව ආදායම් අඩුවීමකි. එහෙත් මෙම කාලසීමාවේදී එම අංශයේ බදු පෙර ලාභය රුපියල් මිලියන 61 සිට 195 දක්වා ඉහළ නැග ඇතැයි සමූහය පවසයි.

කෙසේ වෙතත් සමූහය යටතේ ක්‍රියාත්මක ලෙෂර් අංශය තුළ ආදායම පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා කර තිබූ රුපියල් මිලියන 642 සිට රුපියල් මිලියන 152 දක්වා දරුණු කඩාවැටීමක් පෙන්නුම් කර තිබේ.

විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සහ කොවිඩ්-19 පළමු රැල්ලෙන් ඇති වූ බලපෑම්වලින් පසුව බලාපොරොත්තු නොවූ වේගයෙන් යථාවත්විමට සමත් වීම මෙලෙස ඉහළ කාර්ය සාධනයක් හරහා පෙන්නුම් කරන බවත් සමාගම වැඩිදුරටත් පවසයි. කෙසේ වෙතත් කොවිඩ්-19 දෙවැනි රැල්ල හරහා ඇති වූ බලපෑම සිය දෛනික ව්‍යපාර මෙහෙයුම් කළමනාකරණයේදී කැපී පෙනෙන අභියෝගයක් ඇති කරනු ඇතැයිද සමූහය සඳහන් කර සිටියි.

Visits: 209