සෙන්තිවර්ල් හෝල්ඩිංග්ස් සතු ‘වටවල ප්ලාන්ටේෂන්ස්හි’ කොටස් හිමිකාරීත්වය ඉහළට

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් 263,474ක ප්‍රමාණයක් මිලදී ගැනීමට සෙන්තිවර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම කටයුතු යොදා ඇතැයි පවසයි. පසුගිය නොවැම්බර් 09 වැනිදා මෙම මිලදී ගැනීම සිදුව තිබේ.

එහිදී සෙලාන් බැංකුව පීඑල්සී/සෙන්තිවර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මගින් මෙම මිලදී ගැනීම සිදුකර ඇත. ඒ අනුව එක් කොටසක් රුපියල් 52.50ත් 54.00 අතර මුදලකට මෙම ගනුදෙනුව සිදුව ඇතැයි වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දන්වා සිටියි.

මෙම මිලදී ගැනීමත් සමගින්ම සෙන්තිවර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සහ  ආචාර්ය තිරුඥානසම්බන්දාර් සෙන්තිවර්ල් (ටී. සෙන්තිවර්ල්) මහතා සතු වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් සංඛ්‍යාව 20,586,949ක් දක්වා ඉහළ යන බවත්, එය මෙතෙක් සමාගම විසින් නිකුත් කර ඇති කොටස් අතරින් 10%ක් වන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

එස්ටේට් මැනේජ්මන්ට් සර්විසස් (පෞද්) සමාගමට අයත්ව තිබූ වටවල ප්ලාන්ටේසන්ස් පීඑල්සී සමාගමේ වර්තමාන  හිමිකාරීත්වය සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමට හිමිව තිබේ. පසුගිය මැයි මාසයේදී එම සමාගම මගින් එක් කොටසක් රුපියල් 20 බැගින් වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සීහි කොටස් 150,937,043ක ප්‍රමාණයක් එනම් සමස්ත කොටස් ප්‍රතිශතයෙන් 74.24%ක් මිලදී ගැනීමත් සමගම මෙම හිමිකාරිත්වය හිමි විය.

මෙම වටවල ප්ලාන්ටේෂන් පීඑල්සී සමාගම සතු වටවල වතුයාය අද වන විට මෙරට විශාලතම කටුපොල් (පාම් ගස්) වගාකරුවා ලෙසින්ද සැලකෙයි. එසේම වටවල සමාගම සතුව කිරිගොවිපොළක්ද එහි පිහිටා ඇති අතර, එහි කිරි ගවයන් 1,200කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් පැවසෙයි. ඔවුන් හරහා දෛනිකව ලැබෙන කිරි නිෂ්පාදනය ලීටර් 13,000 කි.

ආචාර්ය තිරුඥානසම්බන්දාර් සෙන්තිවර්ල් (ටී. සෙන්තිවර්ල්) මහතා සහ සෙන්තිවර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිටින ප්‍රධාන පෙළේ ආයෝජකයෙකු වන අතර, ඔහු සහ එම සමාගම මගින් මේ දක්වා ලැයිස්තුගත සමාගම් 70කට ආසන්න ප්‍රමාණයක කොටස් මිලදී ගෙන තිබෙන බවත් පැවසෙයි.

Visits: 954