සීඅයිසී හෝල්ඩිංග්ස් කොටස් අතුරු බෙදීමකින් සිය කොටස් ප්‍රමාණය වැඩි කරගැනීමට යයි

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක් වන සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොටස් අතුරු බෙදීමක් හරහා සිය සමාගම මගින් නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

එහිදී සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මගින් මෙම කොටස් අතුරු බෙදීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රමාණයක් මෙලෙස අතුරු බෙදීමට ලක් කරමින් නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සිදු වන බව සමාගම සඳහන් කරයි.

සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අනුව, මෙම බෙදීම යටතේ සමාගම දැනට නිකුත් කර ඇති එක් සාමාන්‍ය කොටසක් තවත් කොටස් 4ක් දක්වා බෙදීමක් සිදු වෙයි. එසේම නිෂ්ඡන්ද කොටස් ප්‍රමාණයක්ද මෙහිදී අතුරු බෙදීමට ලක් වන අතර, එහිදීද නිෂ්ඡන්ද කොටස් එකක් තවත් නිෂ්ඡන්ද කොටස් 4කට බෙදීමක් මෙහිදී සිදු වන බව පැවසෙයි.

ඒ අනුව මෙම කොටස් අතුරු බෙදීමට පෙර නිකුත් කර ඇති සාමාන්‍ය කොටස් සංඛ්‍යාව වන 72,900,000 මෙම බෙදීමත් සමගින් එය කොටස් 291,600,000ක් බවට පත්වෙයි. එසේම අතුරු බෙදීමට පෙර නිකුත් කර තිබූ නිෂ්ඡන්ද කොටස් ප්‍රමාණය වන 21,870,000 මෙම බෙදීමත් සමගින්ම කොටස් 87,480,000ක් බවට පත්වෙයි.

එසේම මෙම කොටස් අතුරු බෙදීමට පෙර සමාගම විසින් නිකුත් කර තිබූ සාමාන්‍ය සහ නිෂ්ඡන්ද කොටස් ඇතුළු සමස්ත කොටස් ප්‍රමාණය 94,770,000ක් ලෙස සටහන් වන බවත්, මෙම අතුරු බෙදීමෙන් පසුව එය කොටස් 379,080,000ක් දක්වා ඉහළ යන බවත් සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම හේතුවෙන් සමාගමේ දැනට ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් සිදු නොවන බවත්, මෙලෙස අතුරු බෙදීම හරහා අලුතින් ඇති වන කොටස්හි හිමිකරුවන් සතුව පැවැති ඡන්ද හිමි සහ බෙදාහැරීමේ හිමිකම් අවස්ථා එලෙසින්ම වන බවත් සමාගම පවසයි.

කෙසේ වෙතත් මෙලෙස කොටස් අතුරු බෙදීමක් හරහා කොටස් ප්‍රමාණය ඉහළ නංවා ගැනීම එම සමාගමේ මහා සභා රැස්වීමකදී ඉදිරිපත් වන විශේෂ යෝජනාවක් යටතේ එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අනුව සිදු කළ යුතු කටයුත්තක් වන බවත් සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 316