ඩයලොග් ආසිආටා හෝමාගම මූලික රෝහලට තිළිණ කළ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්), සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළ බව  පවසයි. ගෝලීය කොවිඩ්-19 වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය හැඳින්විය හැකි බවත් සමාගම සඳහන් කරයි.

2020 අප්‍රේල් මාසයේදී කොවිඩ් 19 පිටුදැකීම වෙනුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට රු. ලක්ෂ 2000ක් පරිත්‍යාග කිරීමට ඩයලොග් සමාගම පළ කරන ලද එකඟතාවයේ අවස්ථාවකි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා විසින් සිදුකරන ලද මෙම සුවිශේෂී පරිත්‍යාගයේ පළමු අදියර යටතේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇඳන් 10 කින් යුත් නවීන පහසුකම්වලින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ලබාදීමට හැකි විය. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ වේගවත් පීසීආර් පරීක්ෂණ සඳහා පහසුකම් සපයමින් එකී ප්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2.5ක් දක්වා අඩු කරගැනීමට අවස්ථාව සලසා දුන් බව  පවසයි. 

හෝමාගම මූලික රෝහලේ පූර්ණ ක්‍රියාකාරීත්වයකින් යුත් දැඩි සත්කාර ඒකකය විශේෂයෙන්ම කොරෝනා වෛරසය වැනි බෝවන රෝගවලට අවශ්‍ය ප්‍රතිකාර කාර්යක්ෂමව සිදුකිරීමට හැකිවන පරිදි අඩු පීඩන කලාපයක් තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය තාක්ෂණික පහසුකම්වලින් සමන්විත අතර, එහි අංග සම්පූර්ණ අති නවීන දැඩි සත්කාර පහසුකම් තුළින්, අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඉහළ නැංවීමට සමත් වෙයි.

මෙම සත්කාර්යය හරහා බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විදින රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පීඩනය අවම කිරීමටත්, දැඩි සත්කාරක ඒකකවල වෛද්‍යවරුන්ගේ පුහුණුවට සුවිශේෂී වටිනාකමක් එක් කරමින් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමත් අරමුණ බවත් පවසයි. 

Visits: 38