හේලීස් සමූහය සිය ඉතිහාසයේ ‘ශක්තිමත්ම පළමු මාස හය’ මේ වසරේදී වාර්තා කළාලු

හේලීස් සමූහය මගින් සිය 2020/21 මූල්‍ය වර්ෂයේ පළමු මාස හය තුළදී වාර්තාගත ලාභයක් හිමි කරගැනීමට සමත්ව ඇතැයි එම සමූහය නිවේදනයක් මගින් පවසයි. ඒ අනුව මෙම කාලසීමාව සඳහා සමූහයේ බදු පෙර ලාභය රුපියල් බිලියන 5.52ක් ලෙස සටහන්ව තිබේ. මෙය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව තුන් ගුණයක ඉහළ යාමක් බවද සමාගම සඳහන් කරයි.

එසේම මෙම කාලය තුළදී පෙන්නුම් කළ දක්ෂතාව සමූහයේ මෙහෙයුම් ඉතිහාසය තුළ මාස හයකදී පෙන්නුම් කළ වඩාත් ශක්තිමත්ම දක්ෂතාව බවත් සමාගම පවසයි. විශේෂයෙන්ම සමූහයේ අපනයනය පාදක කරගත් ව්‍යාපාර තුළ පෙන්නුම් කළ ඉහළ සාර්ථකත්වයේ දියුණුව මෙන්ම සමූහය තුළ ක්‍රියාත්මක කළ %Heysmart^ නම් සමාගම් පිරිවැය  අඩු කිරීමේ වැඩසටහන හරහා මෙම දක්ෂතා පෙන්නුම් කිරීමට හැකියාව ලැබී තිබේ.

“කොවිඩ්-19 වසංගතයේ ඇති වූ බොහෝ අභියෝග පිටුදකිමින් සමූහය විසින් සෞඛ්‍ය බලධාරීන් ඇතුළු පාර්ශ්වයන් පැනවූ උපරිම සෞඛ්‍ය උපදෙස් යටතේ සිය ව්‍යාපාර කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු යෙදුවා. ඒ හරහා සේවකයන්, සැපයුම්කරුවන් මෙන්ම අනෙකුත් කොටස් හිමිකරුවන්ගේ වටිනාකම් තවදුරටත් ආරක්ෂාකර ගැනීමට අපට හැකි වුණා.” සමාගම පවසයි.

මේ අතරම 2020/2021 මූල්‍ය වර්ෂයේ පළමු මාස හයේදී සමූහයේ පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ ක්‍රමක්ෂ ගැලපීමට පෙර දෙවැනි කාර්තුවේදී සිදු කළ ආදායම් ඉපැයීම්  (EBITDA) රුපියල් බිලියන 13.32ක් බවද සමූහය සඳහන් කරයි. මෙය පසුගිය මූල්‍ය වසරේ එම කාලයේදී සිදු කළ ඉපැයීම් හා සාපේක්ෂව 38%ක වර්ධනයකි.

මොහාන් පණ්ඩිතගේ (සභාපති සහ ප්‍රධාන විධායක), ධම්මික පෙරේරා (සම සභාපති)

එහිදී විශේෂයෙන්ම පිරිසිදු කාරක සහ දෑත් ආරක්ෂක උපාංග යන ක්ෂේත්‍ර තුළ ධාරිතා පුළුල් කිරීම්, ඉතා හොඳ නිෂ්පාදන විවිධාංගීකරණය, වඩාත් සාර්ථක සැපයුම් දාම කළමනාකරණය මෙන්ම වියදම් කළමනාකරණය යනාදී කාරණා නිසා පෙන්නුම් කළ ඉහළ ගිය ලාභ මෙම තත්ත්ව ඇති වීම සඳහා හේතු වී තිබේ.

එසේම සමූහයේ පාරිභෝගික සහ සිල්ලර ව්‍යාපාර මෙහෙයුම්ද වාර්තාගත ලෙස  වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එසේම කෘෂිකාර්මික සහ ඇගලුම් ක්ෂේත්‍රය තුළද ඉතා හොඳ දක්ෂතා පෙන්නුම් කර ඇත. මීට අමතරවට තේ අපනයන හස්තයේ සිදු වූ කැපී පෙනෙන වර්ධනය නිසා වැවිලි ක්ෂේතුය තුළ හිමි කරගත් ලාභද ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් හේලීස් සමූහයේ ලෙෂර් අංශය යටතේ පවතින හෝටල් ඇතුළු ක්ෂේත්‍ර තවදුරටත් අවදානම් තත්ත්වයේ පසුවන බවත්, එම ක්ෂේත්‍රයේ පිරිවැය අවම කිරීම සහ සම්පත් උපයෝගීතාව නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා වඩාත් ක්‍රියාශීලී ක්‍රමවේද කිහිපයක්ම හඳුන්වාදී ඇතැයිද හේලීස් සමූහය පවසයි. මේ අතර, බදු සහ පොළී ගෙවීමට පෙර සමූහයේ සම්පිණ්ඩිත ආදායම (EBIT) රුපියල් බිලියන 9.83 දක්වා 39%කින් ඉහළ ගොස් ඇතැයිද සමූහය සඳහන් කරයි.

“මෙම සමස්ත ලාභය සඳහා සමාගමේ මුදල් පිරිවැයේ සිදු වූ 15%ක අඩුවීමත් දායකත්වය ලබා දුන්නා. එසේම බැංකු සමගින් ඇති කරගත් සාර්ථක එකඟතා අනුව වෙළෙඳ පොළී අනුපාත අඩු කිරීමේ උපරිම වාසිය ලබා ගැනීමටත් හැකි වුණා.” සමාගම පවසයි.

ඒ අනුව මේ ප්‍රතිඵල හේතුවෙන් සමූහයේ බදු පෙර ලාභය පසුගිය මූල්‍ය වසරේ මුල් මාස හයට සපේක්ෂව තුන් ගුණයකින් ඉහළ නංවමින් රුපියල් බිලියන 5.52ක් බවට පත්ව තිබේ. එසේම බදු පසු ලාභයද ඊට පෙර වසරේ මුල් මාස හයට වාර්තා කළ රුපියල් මිලියන 640.86ට සාපේක්ෂව රුපියල් බිලියන 3.82ක් බවට පත්ව ඇත.

“මෙලෙස ප්‍රධාන ව්‍යාපාර හරහා සිදු කළ ශක්තිමත් ආදායම් ඉපැයීම් හේකාර්බ් පීඑල්සී, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සහ හේලීස් පීඑල්සී යන කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගම්හි කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස ඉහළ යාම මෙන්ම ඒවායේ කොටස් ගනුදෙනු ක්‍රියාකාරකම් ඉහළ යාමටද දායකත්වයක් ලබා දුන්නා.” සමූහය පවසයි.

මෙම සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වන හේලීස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා, අපනයන පාදක කරගත් සිය ව්‍යාපාර මෙහෙයුම් හේතුවෙන් මෙම සාර්ථක වර්ධනය ඇති කරගැනීමට හැකියාව ලැබී ඇති බවත්, ඉදිරියේදී කැපී පෙනෙන ඉපැයීම් වර්ධනයක් සඳහා එම තත්ත්වය එලෙසින්ම දායක වනු ඇති බවට විශ්වාස බවත් පවසා සිටියි.

වර්තමානයේදී හේල්සී පීඑල්සීහි අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ මොහාන් පණ්ඩිතගේ (සභාපති සහ ප්‍රධාන විධායක), ධම්මික පෙරේරා (සම සභාපති), සරත් ගනේගොඩ, රාජිත කාරියවසම්, ආචාර්ය හර්ෂ කබ්රාල්, රුවන් වෛද්‍යරත්න, හිෂාම් ජමාල්ඩීන්, අරවින්ද පෙරේරා, ජයන්ති ධර්මසේන, රොහාන් කාර් සහ ගාමිනි ගුණරත්න යන මහත්වරුන්ය.

Visits: 231