සිංගප්පූරුව සහ හොංකොං අතර ‘එයාර් ට්‍රැවල් බබ්ල්’ ක්‍රමය නොවැ. 22 දා සිට

සිංගප්පූරුව සහ හොංකොං නුවර අතර ගුවන් ගමන් කටයුතු ලබන නොවැම්බර් 22 වැනිදා සිට ‘එයාර් ට්‍රැවල්  බබ්ල්’ ක්‍රමය අනුව ආරම්භ කිරීමට සිංගප්පූරු ගුවන් සේවය මගින් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මගීන් 200 දෙනෙකු පමණක් රැගෙන යා හැකි ආකාරයට දෛනිකව එක් ගුවන් පියාසැරියක් ලෙස මෙම ගුවන් ගමන් ඇරඹෙන බව පැවසෙයි.

නව කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති ගුවන් ගමන් කර්මාන්තය යළිත් ආරම්භ කිරීම මෙම ‘එයාර් ට්‍රැවල් බබ්ල්’ ක්‍රමය මගින් සිදු වෙයි. දැනටමත් මෙම කර්මාන්තයේ කඩා වැටීමෙන් ක්ෂේත්‍ර ගණනාවක්ම අර්බුදයට ලක්ව තිබේ.

මෙම ගුවන් ගමන්වල යෙදෙන පිරිසට නිරෝධායනයකට ලක්වීම අවශ්‍ය නොවීම එහි ඇති විශේෂත්වයයි. ඒ අනුව මෙහිදී අදාළ ගුවන් ගමනට සහභාගි වන මගීන් ගුවන් යානයට ගොඩවීමට  පැය 72කට පෙරාතුව නව කොරෝනාව සම්බන්ධයෙන් පීසීආර් පරීක්ෂාවක් සිදු කරගත යුතුව ඇත. එසේම එහි ප්‍රතිඵලය ඍණාත්මක විය යුතුය.

සිංගප්පුරු සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව මෙලෙස එරට සිට හොංකොං දක්වා පියාසැරීමට බලාපොරොත්තුවන පිරිස් ඊට දින  හතකට පෙරාතුව සිය පීසීආර් පරීක්ෂාව සිදු කිරීම සඳහා ඉල්ලුම් කළ යුතුය. එසේම එවැන්නක් සිදු කිරීම සඳහා ඔවුන් ඊට පෙර හොංකොං වෙත යාමට ගුවන් ටිකට් පතක් සතු ව පැවතිය යුතුව තිබේ. කෙසේ වෙතත් ලබන දෙසැම්බර් 1 වැනිදා සිට මෙම අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් අධිකාරිය පවසයි.

මෙලෙස හොංකොං නුවර වෙත පැමිණීමෙන් අනතුරුවද හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදීද එම සංචාරකයන් කොවිඩ්-19 පරීක්ෂාවකට ලක් කෙරේ. එහිදීද ඔවුන්ගේ පරීක්ෂාවේ ප්‍රතිඵලය ඍණාත්මක බවට වාර්තාව ලැබෙන තෙක් ඔවුන් ගුවන් තොටුපොළේම රැඳී සිටීම අනිවාර්යය වෙයි.

එසේම හොංකොං හි සිට නැවතත් සිංගප්පූරුව බලා පැමිණෙන පිරිස්ද පැය 72කට පෙර පීසීආර් පරීක්ෂාවක් සිදු කරගත යුතුව ඇති අතර, එය ඍණාත්මක වීමත් අනිවාර්යය වෙයි. එසේම සිංගප්පූරු ගුවන් තොටුපොළේදීද ඔවුන්ට පීසීආර් පරීක්ෂාවක් සිදු කරන අතර, ගුවන් තොටුපොළෙන් පිටතට ඒමට එයද ඍණාත්මක විය යුතුය.

සිංගප්පූරු සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව ලබන දෙසැම්බර් 7 වැනිදා සිට ‘එයාර් ට්‍රැවල්  බබ්ල්’ ක්‍රමය අනුව දෛනිකව සිදු කරන ගුවන් ගමන් සංඛ්‍යාව දෙකක් බවට පත් කිරීමටත් සැලසුම වී තිබේ.

Visits: 130