රටවල් 12ක් පුරා ‘ලංකා තේ’ ප්‍රවර්ධනයට ඩිජිටල්, සමාජ මාධ්‍ය වැඩසටහන්

සිංහ සලකුණ සහිත ලංකා තේ සන්නාමය ලොව රටවල් 12ක් පුරා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් නුදුරේදීම ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පවසයි. ඒ අනුව රුසියාව, යුක්රේනය, ජපානය, චීනය, මැදපෙරදිග රාජ්‍යයන් සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රාජ්‍යයන් වෙත මෙම ප්‍රවර්ධනය සිදු කිරීම සැලසුම වී තිබේ.

මෙහිදී විශේෂයෙන්ම එම රටවල වෙසෙන තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් ලංකා තේ නිෂ්පාදන පැමිණෙන්නේ ශ්‍රී ලංකාවෙන් සහ සිංහ සන්නාමය යටතේ බවට ප්‍රවර්ධන සහ දැනුවත් කිරීම මෙහි අරමුණයි. ඒ අනුව ඩිජිටල් සහ සමාජ මාධ්‍ය යොදා ගනිමින් මෙම ප්‍රවර්ධනය දියත් කරන බව සභාපතිවරයා අද දිනයේදී ඩේලි නිවුස් පුවත්පත වෙත පවසා තිබේ.

මෙහිදී ලංකා තේ සන්නාමය ප්‍රවර්ධනය කළ හැකි ප්‍රධාන පෙළේ අදහස් සහිත ක්ෂේත්‍රයේ ප්‍රධානීන් මෙන්ම බලපෑම්සහගත චරිත මෙන්ම ලොව පුරා සුප්‍රසිද්ධ තරු කිහිප දෙනෙකුද යොදා ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

“ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ප්‍රතිපත්තිය වෙන්නේ අගය එකතු කිරීම සඳහා උනන්දු කරවීමයි. ඒ වුණත් පාරිභෝගික ඇසුරුම් යටතේ කිලෝ 3ක් දක්වා අංශයෙන් ලංකා තේ අපනයනය ගෙවුණු දශක කිහිපයේදී 40%ක ප්‍රමාණයකින් පහත බැස තිබෙනවා. ඒ අනුව සන්නාමය සහිත පාරිභෝගික ඇසුරුම් ලෙස ශ්‍රී ලංකාවෙන් තේ අපනයනය කිරීම ප්‍රවර්ධනය කරන්න පුළුවන් නම් එය අපේ ඉලක්කය සාර්ථක කරගැනීමට ඉදිරි මාර්ගයක් වේවි. විශේෂයෙන්ම මෙරට දේශීය තේ සන්නාම වෙත සහයෝගය දක්වමින් පාරිභෝගික වෙළෙඳ පොළ තුළ ඔවුන් තවදුරටත් ස්ථාපිත කරමින්, ලංකා තේ කියන ජාතික සන්නාමයේ ශක්තිමත්බව වැඩිකිරීමත් ප්‍රධානම ඉලක්කයක් වේවි.” මොල්ලිගොඩ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

මේ අතරම අද වනවිට තේ පානය යනු පුරුද්දක් ලෙස පවත්වාගෙන යන්නක් නොවන බවත්, එය අත්දැකීමක් බවට පත්ව ඇති බවත් සභාපතිවරයා පවසයි. ඒ අනුව මේ ධනාත්මක ප්‍රවණතාවත් සමගින්ම සිදුව ඇත්තේ පරිභෝජනයේ අඩුවීමක් නොව වෙනස් වීමක් පමණක් බව සැවොම තේරුම් ගත යුතුව ඇතැයි යන්නද ඔහු මෙහිදී පුවත්පත වෙත පවසා තිබේ.

ඒ අනුව අද වනවිට ‘නිෂ්පාදිත රට’ යන කරුණටත් වඩා ලංකා තේ සඳහා සුවිශේෂී වූ අලෙවි ක්‍රම පදනම් කරගනිමින් මෙම ප්‍රවර්ධනය සිදු කළ හැකි බව ඔහුගේ අදහස වී ඇත. ඒ අනුව තිරසාරත්වයට අනුගතවීම, සැපයුම් දාමයේ විනිවිදබව, සෞඛ්‍යදායී කාරණා, පොහොසත් ඉතිහාසය මෙන්ම ලංකා තේ සතු ඉහළ මිල යනාදිය එහිදී වැදගත් වෙයි.

“මේ තිරසාරත්වයට දක්වන දායකත්වය නිසා ලංකා තේ සඳහා වෙනත් රටවලින් නිපදවන තේවලට සාපේක්ෂව වඩා ඉහළ මිලක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒත් මේ තේ කර්මාන්තය සඳහා යන වියදම සහ නිෂ්පාදනයේ මට්ටම මේ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ගැළපෙන්නේ නැහැ.” සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 123