දින දහයකදී ASPI 5.4% කින් හා S&P SL20 3.2% කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ඇතැම් කාර්යාල පරිශ්‍රයන් හා ඇතැම් තැරව්කාර සමාගම් කාර්යාල, නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පිහිටියත්, ඔක්තෝම්බර් 26 වන දින සිට නොවැම්බර් 06 වන දින දක්වා වෙළෙඳපොළ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සමත්ව තිබෙන බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.

විශේෂයෙන්ම දුරස්ථව ගනුදෙනු කටයුතු සිදු වුවත්, ආයෝජකයින්ගේ යහපත් ධනාත්මක ප්‍රතිචාර නිසා වෙළෙඳපොළ සැලකියුතු මට්ටමකින් ඉහළ යාමක් වාර්තා වී තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව ඔක්තෝම්බර් 26 වන දින සිට නොවැම්බර් 06 දක්වා කාලය තුළදී සියලු කොටස් මිල දර්ශක අගය 5.4% කින් හා S & P ශ්‍රී ලංකා 20 දර්ශකය 3.2% කින් වර්ධනය වී පිලිවෙලින් ඒකක 6080.09 ක් හා 2370.30 ක් ලෙස සටහන් වී තිබේ.

මෙම කාලය තුළදී නොවැම්බර් 05 වනදා සියලු කොටස් මිල දර්ශක අගය 6000 සීමාව පසු කරන ලද්දේ 2020 ජනවාරි 06 වනදාට පසුව එහි ඉහලම අගය වාර්තා කරමිනි. මේ ආකාරයට මිල දර්ශකය වර්ධනය වීම තුළ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයටඑක් කරන ලද නව වටිනාකම රුපියල් බිලියන 138කි.

මෙම කාල පරාසය තුළ ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙනයමින් දෛනික පිරිවැටුමෙහි සාමාන්‍යය රුපියල් බිලියන 2.4 ක් ලෙස සටහන් වුයේ පසුගිය වසරවල එම අගය රුපියල් බිලියන 1.7ක් ලෙස සටහන් වීම අභිභවායමිනි. ඉතාම සීමිත ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යයේ වුවද ඔක්තෝම්බර් 26 සිට නොවැම්බර් 06 දක්වා කාල සීමාව තුළදී ගනුදෙනු 208,000 ක සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මේ පිළිබඳව අදහස් පළ කරන කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, මෙවැනි සීමිත ආර්ථික ක්‍රියාකාරකම් සිදුවුණු කාල වකවානුවක වුවද ගනුදෙනු කරුවන්ගේ ධනාත්මක හැසිරීම තවදුරටත් ධෛර්යය සපයන්නක් බව පවසා සිටියි. එමෙන්ම කොටස් වෙළෙඳපොළ මඟින් සලසා ඇති විභවතාවන් පිළිගැනීමක් ලෙසද මෙය දැකිය හැකි බවද ඒ මහතා වැඩි දුරටත් පවසයි.

“වර්තමානයේ තිබෙන අඩු ඉතුරුම් පොලී තත්වයන් නිසා කොටස් වෙළෙඳපොළ කෙරෙහි වැඩි උනන්දුවක් පෙන්නුම් කර තිබේ. ඉහළ මට්ටමේ ගනුදෙනු අගයන් සනිටුහන් වීම හරහා කුමන තත්වයක් යටතේ වුවද ලැයිස්තුගත සමාගම්වල ක්‍රියාකාරීත්වය කෙරේගී ජනතාව තබා ඇති විශ්වාසය තහවුරු වෙනවා. මෙම ධනාත්මක වාතාවරණය ඉදිරියටත් දැකීම අපගේ අපේක්ෂාවයි.” යයි ඒ මහතා අදහස් පළකරමින් කියා සිටියි.

Visits: 369