අඩු මිල කොටස් මිලදී ගැනීමට පෙන්නුම් කළ උනන්දුව නිසා දර්ශක අගයන් ඉහළ යයි

අද (නොවැම්බර් 11) වැනිදා කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේදී ධනාත්මක පිවිසුමක් පෙන්නුම් කළද, විදේශ ආයෝජකයන් සතුව තිබූ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී කොටස් අලෙවි කිරීමත් සමගින්ම යම් ඍණාත්මක අවස්ථාවක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම හේලීස් සමූහය ඇතුළු සමාගම් කිහිපයක් තුළ කලබලකාරී කොටස් අලෙවි කිරීමක්ද දක්නට ලැබී තිබේ. කෙසේ වෙතත් දිනයේ අගභාගයේදී අඩු මිලට කොටස් මිලදී ගැනීම් සඳහා පෙන්නුම් කළ ආයෝජන ආකර්ෂණය නිසා දර්ශක අගයන් ඉහළ යාම සිදු වුණු බවත් එම සමාගම් පවසයි.     

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,031.90ත් ඒකක 6,128.57ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,097.93 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 10) දිනයට සාපේක්ෂව එය ඒකක 2.04 ක් එනම් -0.03%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සිදු කළ ගනුදෙනු අද පිරිවැටුමෙන් 2%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ..

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 73ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 108ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ‍ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+8.16), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+5.62), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+3.16),  සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් පීඑල්සී CCS (+2.77), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+2.62),  ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-3.31), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.3), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.93),  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-2.24) සහ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (-2.16) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,432.55 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 10) දිනයට සාපේක්ෂව ඒකක 20.95 ක එනම් +0.87%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.07ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 10දා) වාර්තා කළ රුපියල් බිලියන 3.61ට සාපේක්ෂව 15%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.66ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.74%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 36.78ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 437.18 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 400.40 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.40ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සණස ඩිවලොප්මන්ට් බැන්ක් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.06කි. එසේම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 324.71ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.07ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 35% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 666ක සහ රුපියල් මිලියන 642ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 196