Stay Safe යෙදුම් ගැන ITSSL වෙතින් දැනුවත් කිරීමක්

රජය විසින් හඳුන්වාදී ඇති කොවිඩ්-19 ට්‍රේසර් මෘදුකාංගයට අමතරව තවත් විවිධ පාර්ශ්ව විසින් සකස් කර Stay Safe නමින් නිකුත් කර ඇති විවිධ ජංගම යෙදුම් ජංගම දුරකතනයට භාගත කරගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට පවසයි.

මෙහිදී විවිධ පාර්ශ්ව විසින් පුද්ගලයන්ගේ සංචරණ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා Stay Safe, Stay Win වැනි විවිධ නාමයන් භාවිත කරමින් විවිධ වූ ජංගම දුරකතන යෙදවුම් හඳුන්වාදීමට කටයුතු කර ඇතැයි ඔවුන් පවසයි. විවිධාකාර නාමයන්ගෙන් හඳුන්වන මෙම යෙදුම් පිළිබඳව සොයා බැලීමේදී මෙම බොහෝමයක් ජංගම දුරකතන යෙදුම් නිර්මාණය කළ පිරිස් මෙම යෙදුම් මගින් ජනතාවගෙන් ලබා ගන්නා දත්ත මොනවාද, එම දත්ත ආරක්ෂා කිරීමට ලබාගෙන තිබෙන ක්‍රියමාර්ග මොනවාද, එම දත්ත විශ්ලේෂණයට අවසර ඇත්තේ කාහටද, එම දත්ත තෙවන පාර්ශිවයකට හෝ වෙනත් පාර්ශ්වයක් වෙත ලබා දෙන්නේද යන්න සඳහන් කිරීමට අපොහොසත් වී ඇතැයිද එම සංගමය පවසා සිටියි.

ඒ අනුව රජය විසින් හඳන්වාදී ඇති Stay Safe වැඩසටහනට මුවා වී තම යෙදවුම් ජනතාවගේ ජංගම දුරකතන වෙත ස්ථාපනය කිරීමට ගන්නා කූට උත්සාහයන්ගෙන් ජනතාව ආරක්ෂා වී සිටිය යුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණයෙන් පවසා සිටියි.

Visits: 89