සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට වේගවත් රොබොටික් පී.සී.ආර් පරීක්ෂණ පහසුකම්

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්) එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා වේගවත් රොබොටික් පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් සැලසීමට කටයුතු කර ඇතැයි පවසයි.

ඒ අනුව කොවිඩ් – 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා ඉටුකරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කිරීම සිදු කර තිබේ.

මෙම නව තාක්ෂණික රොබොටික් පී.සී.ආර්. පහසුකම්  මගින්පී.සී.ආර්. පරීක්‍ෂණ සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2.5 ක කාලයක් දක්වා අඩු කිරීමට සමත් වීම සුවිශේෂී වූ කරුණක් වී තිබේ.

මෙම ජාතික කර්තව්‍යය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, ‘‘මෙම CE සහ යුරෝපීය IVD සහතික ලැබූ ජාත්‍යන්තර තත්ත්වයේ ස්වයංක්‍රීය විසඳුම මගින් එකවර සාම්පල 32 ක් පරීක්ෂා කිරීමට හැකිවීම තුළින්, පැය දෙකහමාරක් වැනි කාලයක් තුළ ආරක්‍ෂිත සහ වේගවත් ආකාරයෙන් පරීක්‍ෂණ වාර්තා ලබාගැනීමේ හැකියාව සලසයි. මෙවැනි සත්කාර්යකට දායකවීමට අපට අවස්ථාව ලබාදීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අපගේ ගෞරවපූර්වක ස්තුතිය පළ කර සිටිනවා.”

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදහස් පළ කරමින්, “බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට වේගවත් රොබොටික් පී.සී.ආර් පරීක්ෂණ පහසුකම් සැලසීම තුළින් ඩයලොග් සමාගම තවත් මහඟු සත්කාර්යයක් සිදුකර තිබෙනවා.  සෞඛ්‍ය ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලෙහි තවත් අදියරක් ලෙස මෙම සුවිශේෂී  සත්කාර්යය සිදුකර තිබෙනවා. ජාතික පරිශ්‍රමයකට අසීමිතව කැපවෙමින් ඩයලොග් සමාගම අඛණ්ඩව සිදු කරන මෙහෙවර වෙනුවෙන් අපගේ ගෞරව පූර්ව ස්තූතිය පුද කරනවා.” යනුවෙන් පවසා සිටියි.

Visits: 21