එක්ස්පෝ ලංකා පෙන්නුම් කළ විශ්වාසයත් සමග ASPI ඒකක 6,114 ඉක්මවයි

අද (නොවැම්බර් 09) වැනිදා කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අතරතුරදී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී පෙන්නුම් කළ ඉහළ ආයෝජන විශ්වසනීයත්වයත් සමගම, වෙළෙඳපොළ ඉතාමත් ශක්තිමත් ධනාත්මක ලක්ෂණයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එහෙත් දිනයේ පසු අවධියේදී රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සහ හේලීස් සමූහයේ සමාගම් තුළ පෙන්නුම් කළ ලාභ ඉපැයීමේ අවස්ථාවන් නිසා ඒවායේ කොටස් ඉහළ මිල ගණන්වලට අලෙවි වීමත් සමගින්ම ගැණුම්බරතාව යම් තරමකින් අඩු වී තිබේ.

එසේම ආර්ථිකය යළි විවෘත කිරීම සහ වටිනා කොටස් තුළ පෙන්නුම් කළ ආකර්ෂණීය ඉපැයිම් නිසා දර්ශක අගයන් ඒකක 6,000 සීමාව ඉක්මවා පවත්වා ගැනීමට වෙළෙඳ පොළට හැකි විය.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 6,074.87ත් ඒකක 6,154.81ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,114.50 ක් බවට පත්විය. පසුගිය සිකුරාදා (නොවැම්බර් 06) දිනයට සාපේක්ෂව එය ඒකක 34.41 ක් එනම් +0.57%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී, වැලිබල් වන් පීඑල්සී, සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී සහ යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී සිදු කළ ගනුදෙනු දෛනික පිරිවැටුම සඳහා 5% ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 90ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 108ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී  EXPO (+15.7), සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී SINS (+9.66), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+5.14),  වැලිබල් වන් පීඑල්සී VONE (+4.49), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+4.37), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-3.6), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-3.17), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (-2.84),  කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (-2.83) සහ රෝයල් සෙරමික් ලංකා පීඑල්සී RCL (-2.7) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,379.69 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 06) දිනයට සාපේක්ෂව ඒකක 9.39 ක එනම් +0.40%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.52ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (නොවැ 06දා) වාර්තා කළ රුපියල් බිලියන 4.99ට සාපේක්ෂව 11%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.66ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 6.56%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 37.08ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 271.87 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 234.8 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.77ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.36කි. එසේම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 81.48ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.63ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 30% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් බිලියන 1.42ක සහ රුපියල් මිලියන 1.05ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 250