ඉවතලන පෑන් සහ ප්ලාස්ටික්වලින් පරිසරය රැක ගැනීම සඳහා ඇට්ලස් සමාගම පරිසර අමාත්‍යංශය සමග මෙහෙයුමක

ඇට්ලස් ඇක්සිලියා සමාගම, පරිසර අමාත්‍යංශය විසින් දියත් කරනු ලබන ‘නීතියක් නෙවෙයි විනයක්’ විශේෂ පාරිසරික වැඩසටහන සමග අත්වැල් බැඳගත් බව පසුගියදා නිවේදනය කළේය.

තමන් භාවිත කර ඉවත ලන ප්ලාස්ටික් පෑන් සහ දත් බුරුසු කසළ ලෙස බැහැර කිරීමෙන් වැළකී ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පුරුද්ද පාසල් දරුවන් මෙන්ම වැඩිහිටියන් තුළ ද ඇති කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

මෙම වැඩසටහන යටතේ නිර්මාණය කරන ලද විශේෂ ප්‍රතිචක්‍රීයකරණ බඳුන පසුගිය 26 වනදා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව බාරදුන් අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර, ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ අසිත සමරවීර සහ පරිසර අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

විශේෂයෙන් පාසල් දරුවන්ගේ ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම සඳහා ‘අපි හැදිලා රට හදමු’ තේමාව ඔස්සේ මෙම වැඩසටහන ආරම්භ කෙරිණි. වත්මන් දරු පරපුර තුළ පරිසර හිතකාමී ආකල්ප රෝපණය කිරීම හරහා අනාගත සමාජය ගුණදායක සමාජයක් බවට පත්කර ගැනීමත්, ඒ හරහා පරිසර දූෂණය අවම වූ දැයක් ගොඩනැගීමටත් මෙම වැඩසටහන යටතේ අපේක්ෂා කෙරේ. තවද, අද දිනයේ රෝපණය කරන යහපත් පුරුද්දක් දිගුකාලීනව වඩාත් සුවිසල් ක්‍රියාදාමයක් බවට පත්වන බව දරුවන්ට අවබෝධ කරවීම ද ඉතා වැදගත්ය.

“පෑන් වෙළෙඳපොළේ ප්‍රමුඛයා ලෙස මෙන්ම තිරසාරත්වය සිය මෙහෙයුම් කටයුතුවල ප්‍රමුඛත ම අංගයක් ලෙස සලකන සමාගමක් ලෙස ඇට්ලස් සමාගම, භාවිතයෙන් ඉවත්කරන පෑන් එක්රැස් කිරීමට ඉදිරිපත් වූ ප්‍රථම ලිපිද්‍රව්‍ය නිෂ්පාදකයා ලෙස ඉතිහාසයට එක්වනවා. මේ වසරේ පෙබරවාරි මාසයේදී අප දියත් කළ ‘ඇට්ලස් හරිත පාසල’ ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාතේ පාසල් හයක් තුළ ඉවතලන පෑන් එකතුකිරීම අප ආරම්භ කළා. එබැවින් රට පුරාම ඉවතලන පෑන් සහ දත් බුරුසු එක්රැස් කිරීම සඳහා පරිසර අමාත්‍යංශය සමග සම්බන්ධ වීම අපගේ මෙහෙයුමේ තවත් ඉදිරි පියවරක් බවට පත්වුණා. අපගේ අනාගත පරපුරේ අනාගතය සුබවාදී කිරීම සඳහා වැඩිහිටියන් ලෙස අප අද නිවැරදි සහ යහපත් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව මගේ හැඟීමයි,” යනුවෙන් ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස ඉවතලන පෑන් 2000 ක් දක්වා එක්රැස් කළ හැකි කසළ බඳුන් මෙරට සෑම පාසලකම ස්ථාපිත කෙරේ. එලෙස එක්රැස්වන පෑන් සහ දත් බුරුසු නව ප්ලාස්ටික් චක්‍රයට එක්වීම අවම කිරීම සඳහා ප්‍රතිචක්‍රීයකරණය කෙරේ. පාසල් තුළ ප්‍රතිචක්‍රීයකරණ බඳුන් ස්ථාපනය කිරීමට සමගාමීව පරිසර අමාත්‍යංශය මෙම වැඩසටහන කාර්යාල සහ රැකියා පරිශ්‍ර වෙත  ද හඳුන්වාදීමට කටයුතු කරයි. පරිසර අමාත්‍යංශයට අනුව මෙරට පාසල්වලින් දිනකට කිලෝ ග්‍රෑම් 80 ක් කාබන් පෑන් බට බැහැර කෙරෙන අතර එම අගය වාර්ෂිකව කිලෝ ග්‍රෑම් 29,000 ක් ඉක්මවනු ඇතැයි ගණන් බලා ඇත. ඊට අමතරව රාජ්‍ය සහ පුද්ගලික ආයතන මගින් බැහැර කරන පෑන් ප්‍රමාණය තවමත් ගණන් බලා නොමැත.

Visits: 141