6G තාක්ෂණය අත්හදා බැලීමට චීනය චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි

චීනය විසින් 6G දුරකතන සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීම සඳහා ලෝකයේ පළමු 6G චන්ද්‍රිකාව නොවැම්බර් 06 වැනිදා සාර්ථක ලෙස කක්ෂගත කර ඇතැයි වාර්තා පවසයි. චීනයේ උතුරු දිග සාන්ෂි ප්‍රදේශයේ පිහිටි ටායියුආන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට මෙම චන්ද්‍රිකාව කක්ෂගත කර තිබේ.

එරට ලෝන්ග් මාර්ච් 6 රොකට්ටුව ආධාරයෙන් කක්ෂගත කර ඇති මෙම චන්ද්‍රිකාවට අමතරව තවත් චන්ද්‍රිකා 12ක්ද මෙහිදී කක්ෂගත කළ බව චීන බලධාරීන් සඳහන් කර සිටියි. එම චන්ද්‍රිකා මගින් වගා හානි නිරීක්ෂණය, ගංවතුර වැළැක්වීම සහ වනාන්තර ගිනි ගැනීම් වැළැක්වීම සිදු කළ හැකි බව ඔවුන් පවසා සිටියි.

මෙහිදී 6G තාක්ෂණය සහිත චන්ද්‍රිකාව චීනයේ ඉලෙක්ට්‍රොනික විද්‍යා සහ තාක්ෂණික විශ්වවිද්‍යාලය නමින් (UESTC) නම් කර තිබේ. මෙම චන්ද්‍රිකාව මගින් අභ්‍යවකාශයේ සිට 6G සංඥා තාක්ෂණය හැසිරවිය හැකි ආකාරය පිළිබඳව අත්හදා බැලීමට නියමිතව ඇත. දැනට පවතින අදහසට අනුව මෙම 6G දුරකතන සන්නිවේදන තාක්ෂණය දැනට පවතින 5G තාක්ෂණයට වඩා 100 ගුණයකින් වේගවත් වෙයි.

තවමත් විවිධ දේශපාලනමය සහ ආර්ථික බාධා හේතුවෙන් ලොව තුළ නිසිආකාරයෙන් 5G තාක්ෂණය පවා ව්‍යාප්තවී නොමැති අතර, එවැනි අවස්ථාවකදී චීනය විසින් මෙලෙස 6G තාක්ෂණයද අත්හදා බැලීමට කටයුතු කිරීම කැපී පෙනෙන අවස්ථාවක් බවට පත්ව තිබෙන බව තාක්ෂණික විශ්ලේෂකයෝ පවසති.

Visits: 162