සණස ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හිමිකම් නිකුතුව 06 දා සිට අන්තර්ජාලය හරහා

සණස ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී මගින් 2020 වසරේ සිදු කරන හිමිකම් නිකුතුව හරහා කොටස් හිමියන් හට ඔවුන්ට හිමි හිමිකම් සහ අතිරේක හිමිකම් කොටස් අයදුම් කිරීම සඳහා වන පහසුකම නොවැම්බර් මස 06 වැනිදා සිට බැංකුවේ වෙබ් අඩවිය හරහා ලබාදී ඇතැයි එම බැංකුව පවසයි.

ඒ අනුව https://www.sdb.lk/en/investor-relations/rights-issue වෙබ් ලිපිනය හරහා පිවිස කොටස් හිමියන්ට සිය කොටස් හිමිකම් මිලදී ගැනීමේ අවස්ථාව පවතී.

විශේෂයෙන්ම සණස ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී මගින් ප්‍රකාශ කර ඇති හිමිකම් නිකුතුවට අදාළ  හිමිකම් කොටස් ලබා දීමේ ලිපිය (Provisional Letter of Allotment) කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රට තුළ පැන නැගී ඇති අනාරක්ෂිත වාතාවරණය හේතුවෙන් කොටස් හිමියන්ට තැපැල් මාර්ගයෙන් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව බැංකුව පවසයි.

මෙහිදී 2020 ඔක්තෝබර් මස 26 වැනි දින කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසානයේදී සණස ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සීහි ලියාපදිංචි වී ඇති කොටස් හිමි සෑම කොටස් හිමියෙකුටම මෙම හිමිකම් නිකුතුවට දායකවීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් බැංකුව සඳහන් කරයි.

ඒ අනුව එම සියලු කොටස්  හිමියන් සඳහා ඔවුන්ට හිමි හිමිකම් කොටස් සහ අතිරේක කොටස් අයදුම් කිරීම සඳහා එම වෙබ් අඩවියෙහි දක්වා ඇති උපදෙස් අනුගමනය කරන ලෙසද බැංකුව දන්වා සිටියි. ඒ සඳහා උපදෙස් ඇතුළත් වීඩියෝවක්ද බැංකුව මගින් ඉදිරිපත් කර තිබේ.

මෙහිදී ඔබ දැනටමත් CDS ගිණුම් හිමියෙකු නම්, ඔබට අදාළ  හිමිකම් කොටස් ප්‍රමාණය 2020 නොවැම්බර් මස 06 වන දින සිට බලපැවැත්වෙන පරිදි, එම CDS ගිණුමට ඍජුවම තැන්පත් කිරීමට කටයුතු කරන බවත් බැංකුව පවසයි. එසේම ඔබගේ කොටස් තැරැව්කාර සමාගම හරහා 2020 නොවැම්බර් 17 වැනිදාට පෙර ඔවුනට මුදල් ගෙවීම තුළින්ම ඔබට අදාළ හිමිකම් කොටස් ප්‍රමාණය මිලදී  ගත හැකි බවද බැංකුව සඳහන් කරයි.

“තවදුරටත් අතිරේක හිමිකම් කොටස් අයදුම් කිරීමට අවශ්‍ය නම්, සණස ඩිවලොප්මන්ට් බෑංකුවේ වෙබ් අඩවිය https://www.sdb.lk/en/investor-relations/rights-issue හරහා එම කොටස් අයදුම් කළ හැකිය.” බැංකුව පවසයි.

මෙම කොටස් නිකුතුව සම්බන්ධයෙන් යම් විමසීමක් සිදු කිරීමට අවශ්‍ය නම් බැංකුවේ රෙජිස්ට්‍රාර්වරුන් ලෙස කටයුතු කරන පී.ඩබ්ලිව්. කෝපරේට් සෙක්‍රටේරියල් ප්‍රයිවඩ් ලිමිටඩ් සමාගම අමතා විස්තර ලබා ගත හැකිය.  දුරකතන අංක 077-3569907, 076-8273001, 076-8273002, 076-8273004, 076-8273006, 076-8273007 සහ 076-8273008 හරහා සම්බන්ධ වීමට හැකියාව ඇතැයිද බැංකුව වැඩිදුරටත් පවසයි.

Visits: 507