ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සඳහා වූ ප්‍රතිචාරය වෙනුවෙන් ලෝක බැංකුවෙන් මේ දක්වා ඩො.මිලියන 217.56ක්

අද දිනයේ ජීවිත ආරක්ෂා කර ගනිමින්, හෙට දින වෙනුවෙන් සූදානම් වෙමින් කටයුතු කරමු යන තේමාවෙන් යුක්තව ලෝක බැංකුව මගින් දියත් කරන ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සඳහා වූ ප්‍රතිචාරය වෙනුවෙන් මේ දක්වා ලෝක බැංකුව ඇතුළු බැංකු කණ්ඩායම මගින් ඩොලර් මිලියන 217.56ක මුදල් ප්‍රදානයක් සිදු කර ඇතැයි පවසයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 සඳහා වූ ප්‍රතිචාරය නම් වූ මෙම ව්‍යාපෘතියේ අභියෝගය, ප්‍රවේශය, ප්‍රථිපල, බැංකු කණ්ඩායමෙහි දායකත්වය, හවුල්කරුවන්, ඉදිරි ගමන සහ ප්‍රතිලාභීන් පිළිබඳව සටහන් කරමින් ලෝක බැංකුව මගින් නිකුත් කළ නිවේදනයක මේ පිළිබඳව සඳහන් වෙයි.

“මෙම ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 217.56 ක මූල්‍ය දායකත්වයක් ලබා දී ඇත. ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඩොලර් මිලියන 35 ක ණය මුදලක්, ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) ඩොලර් මිලියන 180.84 ක් සහ වසංගත හදිසි මූල්‍යකරණ පහසුකම විසින් සපයන ලද (PEF) ඩොලර් මිලියන 1.72 ක ප්‍රදානයක් මෙයට ඇතුළත් ය.” එහි පවසා තිබේ.

විශේෂයෙන්ම වසංගතය පාලනය කිරීම සඳහා රජයේ උපාය මාර්ගය වන “පරීක්ෂා කිරීම, ආශ්‍රිතයන් සොයායාම, හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම” ක්‍රියාත්මක කිරීමට මෙම ව්‍යාපෘතිය හරහා සහාය වී තිබේ. ඒ හරහා අත්‍යවශ්‍ය වෛද්‍ය අවශ්‍යතා, PCR පරීක්ෂණ කට්ටල සහ නියැදි ලබාගැනීමේදී අවශ්‍ය උපකරණ අඛණ්ඩව සැපයීමටත්, සම්බන්ධතා සොයා ගැනීමේ උත්සාහයන්ට සහාය වෙමින් නිරෝධායන මධ්‍යස්ථාන 32 ක් පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය සපයා ඇත. එමෙන්ම අනාගතයේදී ඇතිවිය හැකි සෞඛ්‍යමය හදිසි අවස්ථා වඩාත් හොඳින් කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ද එමඟින් කටයුතු කරන බවත් ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව නිකුත් කළ නිවේදනය මෙලෙස පළ කෙරේ.

අභියෝගය

2020 මාර්තු 11 දින ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කොවිඩ්-19 ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. සංචාරක කර්මාන්තය ප්‍රධාන ආදායම් මාර්ගයක් වන රටක් සහ සහ විදේශගතව සිටින විශාල ජනගහනය හේතුවෙන් ශ්‍රී ලංකාව වෛරසය ව්‍යාප්තියට ගොදුරු වීමේ අවදානම ඉහළ විය. 2020 ජනවාරි 27 දින මෙරටින් පළමු ආසාදිතයා වාර්තා වූ අතර ආසාදිත බවට හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා 2020 මාර්තු 10 දින වාර්තා විය. මීට ප්‍රතිචාරයක් වශයෙන් රජය විසින් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග හඳුන්වා දුන් අතර 2020 මාර්තු 16 දින රට මුළුමුනින්ම වසා දැමීමට කටයුතු කරන ලදී. ආසාදිත රෝගීන් හට ආරක්ෂිත පරිසරයක ප්‍රතිකාර ලබා දෙමින්, පරීක්ෂණ කිරීමේ සහ ආශ්‍රිතයන් සෙවීමේ උත්සාහයන් වඩාත් දැඩි කරන ලද අතර අවදානම සහ වැළැක්වීමේ ක්‍රියාමාර්ගයන් පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. දැනටමත් මූල්‍යමය වශයෙන් බාධාවන්ට මුහුණ දී සිටියදී මෙම වසංගතය විසින් රට තුළ අතිරේක සම්පත් ඉල්ලුමක්  ඇති කරන ලදි. වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය, තාක්‍ෂණික හා ප්‍රතිසම්පාදන සහාය නිසි ලෙස ස්ථාන ගත කිරීම ඉක්මනින් සම්බන්ධීකරණය කිරීම පැවති අභියෝගය විය.

Photo Credit: Samitha Darshanika Senadheera / World Bank

ප්‍රවේශය

මෙම තත්වය මත, ලෝක බැංකුව විසින් කොවිඩ්-19 ඉක්මන් සහන පහසුකම (Fast-Track Facility) උපයෝගී කර ගනිමින්, සම්පත් එක්රැස් කර වැඩකරන දින 10 ක් තුළ ව්‍යාපෘතිය සකස් කරමින් ඉතා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීය. මෙහිදී, මේ පිළිබඳව වෙන්වූ සවිස්තරාත්මක සැලසුම් සාකච්ඡා කිරීම සඳහා  පවතින  හදිසි සොඛ්‍ය  අපදා තත්වය යටතේ  පවතින  සීමිත ඉඩප්‍රස්ථාව  සැලකිල්ලට ගනිමින්,  ජාතික මට්ටමේ ප්‍රකාශ කරන ලද  සෞඛ්‍ය ආපදා පිළිබඳ සූදානම්ව සිටීම, ප්‍රතිචාර සහ ප්‍රතිසාධන සැලැස්මේ හඳුනාගනු ලැබූ අවශ්‍යතා මත පදනම්ව ව්‍යාපෘති  උපාය මාර්ගයන් සහ ව්‍යාපෘති ප්‍රමුඛතා සකස් කරන ලදි.  ඉහත  සැලැස්ම සෞඛ්‍ය අමාත්‍යාංශය (MoH) මඟින්  ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අනෙකුත් සංවර්ධන සහකරුවන්ගේ සහයෙන් සකස් කරන ලද්දකි.මෙම පියවර තුලින් මෙම සෞඛ්‍ය අපදා තත්වය සඳහා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට විවිධ හවුල්කරුවන්ගෙන්  සම්බන්ධීකරණය කරන ලද මූල්‍ය සහාය ලබා ගැනීම සහතික කරන ලදි. මෙතුලින් හඳුනාගනු ලැබූ වසංගත කළමනාකරණ උපායමාර්ග ක්‍රියාත්මක කිරීමට සහ ජාතික මට්ටමේ ප්‍රකාශ කරන ලද සොඛ්‍ය ක්ෂේත්‍රයේ  සේවාවන් වැඩි දියුණු කිරීමට ලෝක බැංකු මුල්‍යකරණ  සහය ලබා දීමට තීරණය කරන ලදී . මෙහිදී ක්ෂණික වැඩසටහන් මෙන්ම , දිගු හා මධ්‍යකාලින වැඩ සටහන් ද සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා නම්‍යශීලී ප්‍රවේශයක් අනුගමනය කළ අතර, දෛනික භාණ්ඩ ප්‍රතිපූරණය සහ කොවිඩ්-19 සඳහා ප්‍රතිචාර දැක්වීමේ පහසුකම් සඳහා වන මෙහෙයුම් වියදම් පියවා ගැනීමට ඉන් අවස්ථාව සැලසිනි. හඳුනාගත් පහසුකම් ස්ථාන වල වාට්ටු කොවිඩ් සඳහා ප්‍රතිචාර දැක්වීමට ඉක්මනින් සූදානම් කිරීම සඳහා මෙය උපකාරී විය. ව්‍යාපෘති අත්සන් කිරීමෙන් පසු පළමු මාස ​​තුන සඳහා රජයේ පවත්නා ප්‍රසම්පාදන ක්‍රම (අත්තිකාරම් ප්‍රසම්පාදන මූලධර්ම අනුගමනය කිරීම) භාවිත කිරීමේ නම්‍යතාවය ලබා දී ඇත.

ජාතික මට්ටමේ සහ පළාත් මට්ටමේ සෞඛ්‍ය අපදා කළමනාකරණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ද ක්‍රියාකාරකම් ආරම්භ කරන ලදී. වඩා හොඳ සූදානමක් සඳහා තෝරාගත් රෝහල් කිහිපයක් පවතින හා අනාගත වසංගත තත්වයන් සඳහා ප්‍රතිචාර දැක්විය හැකි වෛද්‍ය මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය වෙමින් පවතින අතර දැනට පවතින රසායනාගාර පද්ධතිය වඩාත් ශක්තිමත් කරමින් පවතී. මෙම ව්‍යාපෘතිය රටේ ආසාදන පාලනය සහ නිරීක්ෂණ පද්ධති සංවර්ධනය කිරීමට මෙන්ම සම්ප්‍රේෂණ රටාවන් සහ ප්‍රජා ප්‍රතිචාර සහ හැසිරීම් පිළිබඳ වසංගත අධ්‍යයනයන්ටද සහාය වේ. මෙම පර්යේෂණය තුළින් වසංගත කළමනාකරණය පිළිබඳ දිගුකාලීන සැලසුම් සහ උපාය මාර්ගයන්ට පදනම සකස් කරනු ඇත.

වැඩිහිටි හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සහ නිදන්ගත රෝගයන්ගෙන් පීඩා විඳින රෝගීන් ඇතුළු ඉහළ අවදානම් සහිත ජනතාවට මුදල් ආධාර සැපයීමට ලෝක බැංකුව විසින් අතිරේක මූල්‍ය සම්පත්  ලබා දීමට ද කටයුතු කරන ලදි. මෙම සමාජ අංශයේ සහාය කොවිඩ්-19 හේතුවෙන් මතුවූ අවදානම් කළමනාකරණය සඳහා සෞඛ්‍ය අංශය වෙත දැක්වූ සහායට අමතරව ලබාදුන් සහයෝගයකි.

එමෙන්ම, විශේෂයෙන් හදිසි අවස්ථා වලදී ප්‍රජා මට්ටමින් මානසික සෞඛ්‍ය සේවා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට (GBV) ගොදුරු වූවන් සඳහා වන සේවාවන් ද මෙම ව්‍යාපෘතිය මගින් ශක්තිමත් කරනු ඇත. මෙම ක්‍රියාකාරකම් වසංගත හදිසි මූල්‍ය පහසුකම  (PEF) වෙතින් ලැබෙන ප්‍රදානයක සහායෙන් ආරම්භ කෙරේ.

Shutterstock

ප්‍රතිඵල

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් මාස හයක කාලය තුළ, ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) සහ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD) හරහා ලෝක බැංකු මූල්‍යකරණය/ ලෝක බැංකුව විසින් සපයන ලද මූල්‍ය ආධාර හා සහනදායී ණය 2020 මාර්තු සහ ඔක්තෝබර් කාලය තුළ පහත ප්‍රතිඵල සඳහා දායක විය:

  • 2020 ඔක්තෝබර් 1 වන විට ශ්‍රී ලංකාවේ තහවුරු කරගත් කොවිඩ්-19 රෝගීන් 3,380 ක් වාර්තා වී  තිබිනි. ඉන් රෝගීන් 3,233 ක් පූර්ණ සුවය ලබා තිබූ අතර මරණ 13 ක් වාර්තා වී තිබේ. ඔක්තෝබර් 1 වන විට කොවිඩ්-19 වෛරසය පැතිරීම රටේ දිස්ත්‍රික්ක 26 න් 18 කට සීමා වී තිබූ අතර දිස්ත්‍රික්ක 8 ක රෝගීන් වාර්තා නොවීය. එම රෝගීන් සිටින දිස්ත්‍රික්ක 18 අතරින් ද, බහුතර කණ්ඩායම් දිස්ත්‍රික්ක 6 ක සංකේන්ද්‍රණය වී සිටි අතර, ඉන් බහුතරයක් අගනුවර වන කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. ඔක්තෝබර් 1 දින වන විට ඉතිරි දිස්ත්‍රික්ක 12 තුළ එක් දිස්ත්‍රික්කයකින් වාර්තා වූ රෝගීන් ගණන10 කට වඩා අඩු විය. මෙම සාපේක්ෂව අඩු කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාවෙන් පිළිබිඹු කෙ‌රෙන්නේ මෙම ව්‍යාපෘතිය හරහා සහාය දක්වන “පරීක්ෂා කිරීම, ලුහුබැඳීම, හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීමේ” උපායමාර්ගය ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සහ රජයේ ශක්තිමත් සහ වේගවත් ප්‍රතිචාරයයි.
  • අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල සමඟ පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE) 300,000 ක් මේ වන විට නිෂ්පාදනය කර බෙදා හැර ඇත (‘ප්‍රතිකාර කිරීම’); රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන 32ක් මේ වන විට ක්‍රියාත්මකව පවතියි (‘හුදකලා කිරීම’); එමෙන්ම බාහිර රෝගී අංශ, මහජනතාව ගැවසෙන ප්‍රදේශයන්හි, සහ රටට ඇතුල් විය හැකි ස්ථානයන් හිදී අහඹු පරීක්ෂා සිදු කිරීමට පහසුකම් සළසාලමින් PCR පරීක්ෂණ  සහ අවශ්‍ය උපකරණ කට්ටල 250,000 ක් ව්‍යාපෘතිය දැනටමත් ඇණවුම්  කර ඇත. ( ‘පරීක්ෂා කිරීම’ )
  • සම්බන්ධතා සොයා ගැනීම සඳහා සංචාරය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 805 දෙනෙකුට මෝටර් බයිසිකල් ලබා දී ඇත; බිම් මට්ටමේ ප්‍රජාව වෙත සේවා සැපයීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) කාර්යාල 25 කට කැබ් රථ (pick-up trucks)  ලබා දී ඇත. (‘ආශ්‍රිතයන් සොයායාම’)
  • තෝරාගත් රෝහල්, පළාත් රෝගීන් කළමනාකරණ මධ්‍යස්ථාන 9 ක්  සහ සහ දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් සැක සහිත රෝගීන් කළමනාකරණ මධ්‍යස්ථාන 25 ක් බවට පරිවර්තනය  කිරීමේ සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. මූලික සැලසුම් අදියර අවසන් කර ඇති අතර ස්ථාන පරීක්ෂා කිරීම දැනටමත් සිදු වෙමින් පවතී. විශේෂිත හුදකලා වාට්ටු, ශක්තිමත් ආසාදන පාලන ක්‍රියාවලි, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති සහ වැඩිදියුණු කරන ලද රසායනාගාර පහසුකම් සහිතව මෙම මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමට අපේක්ෂා කෙරේ.
  • වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) 3 වන මට්ටමේ ජෛව ආරක්ෂණ රසායනාගාරයක් පිහිටුවීමේ මූලික කටයුතු ආරම්භ කර ඇත.
  • ජාතික බෝවන රෝග රෝහලේ  රෝගීන් නිරෝධායනය සදහා දැඩි සත්කාර ඒකක සහිතව වාට්ටු සංකීර්ණයක ඉදිකිරීම දැනටමත් ආරම්භ කර ඇත.   
  • 2020 අප්‍රේල් හා මැයි මාස වලදී සමාජය වෙත මුදල් ආධාර සැපයීම තුළින් වැඩිහිටි, ආබාධිත/විශේෂ අවශ්‍යතා සහිත සහ අඩු ආදායම්ලාභී පවුල්වල නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන ජනතාව ඇතුළුව අවදානමට ලක්විය හැකි කාණ්ඩයේ 699,915 ක ජනතාව වෙත ප්‍රතිලාභ හිමිවිය. 

බැංකු කණ්ඩායමෙහි දායකත්වය

මෙම ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 217.56 ක මූල්‍ය දායකත්වයක් ලබා දී ඇත. ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් (IBRD) ඩොලර් මිලියන 35 ක ණය මුදලක්, ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) ඩොලර් මිලියන 180.84 ක් සහ වසංගත හදිසි මූල්‍යකරණ පහසුකම විසින් සපයන ලද (PEF) ඩොලර් මිලියන 1.72 ක ප්‍රදානයක් මෙයට ඇතුළත් ය.

හවුල්කරුවන්

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 කළමනාකරණ උපායමාර්ගය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන අතර ලෝක ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සහ අනෙකුත් එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ ජාලයක සහාය ඇතිව එය ක්‍රියාත්මක කරනු ලබයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සභාපති ධූරය දරණ හදිසි සෞඛ්‍ය සමූහ/පොකුරු රැස්වීම් සඳහා බැංකුව ක්‍රියාකාරීව සහභාගී වී ඇත. එමෙන්ම සෞඛ්‍ය සූදානම සඳහා මධ්‍යම හා දිගුකාලීන සැලසුම් සම්බන්ධීකරණය කරන සෞඛ්‍ය සංවර්ධන හවුල්කාර ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපතිවරයා ද වශයෙන්ද බැංකුව කටයුතු කරයි. අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල සහ පෞද්ගලික ආරක්ෂක උපකරණ (PPE)  මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය වීම සඳහා මෙම ව්‍යාපෘතිය සමඟ යුනිසෙෆ් ගිවිසුම්ගත වී ඇත. හවුල්කරුවන්‌ගේ ජාලය සමඟ නිරන්තර සංවාදය සහ නිසි සම්බන්ධීකරණය තුළින් එකම ක්‍රියාව දෙවරක් සිදුවීම (duplication) වළක්වා ගත හැකි වූ අතර රටේ හදිසි ප්‍රතිචාර උපායමාර්ගයේ ඇති හිදැස් හඳුනා ගැනීමට සහ ව්‍යාපෘතිය හරහා මෙම හිදැස් පියවා ගැනීමට බැංකුවට හැකි වී තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (PSSP) ඇතුළු පෙර පැවති හා වර්තමානයේ පවතින ව්‍යාපෘති හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගොඩනඟාගත් සමීප සම්බන්ධතාවය මගින් මෙය ශක්තිමත් කර ඇත.

ඉදිරි ගමන

2004 සිට ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘති දෙකකට අරමුදල් සපයා ඇත. සෞඛ්‍ය පද්ධතියේ සේවා සැපයීම සහ රැකවරණයෙහි ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම, හදිසි ප්‍රතිකාර ඒකක පහසුකම් වැඩිදියුණු කිරීම සහ අලුතින් මතුවන සෞඛ්‍ය අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා පද්ධතිය සකස් කිරීම මෙම ව්‍යාපෘතීන්හි අරමුණු විය. මෙම ආයෝජනයන් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිචාර උපායමාර්ගයේ  මූලිකාංගයක් වූ සෞඛ්‍ය සේවා සැපයුම් ජාලය ශක්තිමත් කිරීමට උපකාරී වී තිබේ. ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය ජාතික උපායමාර්ග හා ප්‍රමුඛතාවන්ට අනුකූලව ද්විතීයික හා තෘතීයික මට්ටමින් හදිසි සෞඛ්‍ය සේවා සංවර්ධනය කිරීමට දිගටම කටයුතු කරනු ඇති අතර, ඉදිරි වසර වලදී ශ්‍රී ලාංකික  ජනතාවට ප්‍රයෝජනවත් වන පරිදි හැකියාවන් ගොඩනඟමින්, හදිසි ප්‍රතිචාර පද්ධති, යාන්ත්‍රණ සහ පහසුකම් ස්ථාපිත කරනු ඇත.

ප්‍රාථමික සත්කාර මට්ටමින් සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් දැනට ක්‍රියාත්මක බැංකු විසින් අරමුදල් සපයනු ලබන PSSP ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා ද මෙම ක්‍රියාකාරකම් දායක වනු ඇත. කොවිඩ්-19 ව්‍යාපෘතිය මගින් ප්‍රාථමික සත්කාර මට්ටමෙන් ඔබ්බෙහි වන සෞඛ්‍ය පහසුකම් පිළිබඳව අවධානය යොමු කරන අතර මේ ආකාරයෙන් කටයුතු කිරීමන් සත්කාරය අඛණ්ඩව පවත්වා ගැනීමට සහ රජය සහ සංවර්ධන හවුල්කාර ජාලය විසින් අරමුදල් සපයනු ලබන සමස්ත සෞඛ්‍ය අංශයේ සංවර්ධන සැලසුම් සඳහා සහාය සැපයෙනු ඇත.

Shutterstock

ප්‍රතිලාභීන්

හදිසි ප්‍රතිචාරයට සහය දැක්වීම තුළින් ජීවිත බේරා ගැනීමට දායක වීමෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවටම ප්‍රතිලාභයක් වී තිබේ. ආසාදිත පුද්ගලයින්, වෛද්‍ය සහ හදිසි සේවකයින් සහ සේවා සපයන්නන්, වැඩිහිටියන්, ආබාධිත/විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්, අඩු ආදායම්ලාභී පවුල්වල නිදන්ගත වකුගඩු රෝගීන් වැනි ඉහළ අවදානම් සහිත ජනතාව විශේෂයෙන් ප්‍රතිලාභ ලැබූවද ජනගහනය පදනම් කරගත් වැළැක්වීමේ පියවරයන් මගින් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සෑම දෙනෙකුගේම ජීවිත ආරක්ෂා කිරීමට උපකාරී වී තිබේ. තවද, අනාගත වසංගත සූදානම සඳහා රට පුරා මහජන සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එය ශ්‍රී ලංකාවේ ජනතාවට අඛණ්ඩව ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

Visits: 77