ලෙබනනයේ චොකලට් කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකාවට?

ශ්‍රී ලංකාව තුළ චොකලට් කර්මාන්තශාලාවක් ආරම්භ කීරිම සඳහා ඇති හැකියාව සොයා බැලීමට බේරූට් හා මවුන්ට් ලෙබනන්හි වානිජ්‍ය හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති මොහොමඩ් චෞකෙයාර් මහතාගේ අවධානය යොමුව ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.

පසුගියදා ලෙබනනයේ බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිවරිය මොහොමඩ් චෞකෙයාර් මහතා හමු වී කළ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත. ලෙබනනයේ හිටපු විදුලි සංදේශ අමාත්‍යවරයකුද වන මොහොමඩ් චෞකෙයාර් මැතිතුමා, අනාගත ආයෝජන සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි අයෙකු ලෙසද පිළිගන්නා බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

ලොව පුරා ඉතා සාර්ථක චොකලට් කර්මාන්තයක් පවත්වාගෙන යන සභාපති චෞකෙයාර් මහතා ලෙබනනයේ patchi chocolate නම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙන්ම උප සභාපතිවරයාද වෙයි. එම සමාගම හැරෝඩ්ස් සමාගමෙහි සැපයුම්කරුවෙකුද වෙයි. එසේම ලොව පුරා අලෙවිසැල් 1000 කට අධික ප්‍රමාණයක්ද එම සමාගමට අයත් වෙයි.

මෙහිදී ඔහු දකුණු ආසියාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ බවත්, ආසියාවේ චොකලට් පරිභෝජනය පිළිබඳවද සාකච්ඡා කළ බව තානාපතිවරිය සඳහන් කරයි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳවද විමසා තිබේ. එසේම තම වාණිජ මණ්ඩලය සහ තානාපතිවරිය අතර පසු විපරම් රැස්වීම් පවත්වන ලෙසත් ඉල්ලා තිබේ.

මේ අතර, ලංකා තේ සහ තේවලින් වර්ණ ගන්වන ලද මුහුණු ආවරණ නොමිලයේ බෙදා හැරීම සඳහා බේරූට් සහ මවුන්ට් ලෙබනන් හි ලෙබනන් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය වෙත චාරිත්‍රානුකූලව භාර දීමද මෙම හමුවේදී සිදු සිදු වී ඇත.

මෙම අවස්ථාව සඳහා තානාපතිවරිය සමඟ  තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ටී. ලක්ෂ්මිධරන් මහතා (ශ්‍රම), අනුෂ්යා සුමනවර්ධන මහත්මිය (සහායක), ප්‍රිමාලි රත්නතුංග මහත්මිය, ජී. එස්. හෙට්ටිආරච්චි මහතා සහ ටී. බී. සමරකෝන් මහතා යන නිලධාරීහු එක්ව සිට ඇත.

Visits: 417