ඕමානයට ගෘහ සේවිකාවන් යවන්නන්ට දැඩි කොන්දේසි

ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන සුල්තාන් රාජ්‍යයට අවිධිමත් ලෙස සංක්‍රමණය වීම වැළැක්වීම සඳහා ඕමාන සුල්තාන් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) හා අදාළ ඕමාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නව ක්‍රියා පිළිවෙතක් හඳුන්වා දී ඇතැයි පවසයි.

මෙම නව ක්‍රියා පිළිවෙතට අනුව, එක් එක් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ගේ රැකියා කොන්ත්‍රාත්තුව සමඟ මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” (NOC) ඇති නියෝජිතායතන හෝ තනි අනුග්‍රාහකයන්ට පමණක්, ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන්ට රැකියා වීසා බලපත්‍ර නිකුත් කීරිමට පියවර ගෙන ඇත.

එබැවින්, ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් ඕමානයේ සුල්තාන් රාජ්‍යයට බඳවා ගැනීම පිණිස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” ලබා ගැනීම, බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයන් සඳහා අනිවාර්ය වී තිබේ.

ඒ අනුව, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීමට අපේක්ෂා කරන සියලුම බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයන්ට, පහත සඳහන් ක්‍රියා පටිපාටියට අනුකූල වන ලෙස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපදෙස් දෙයි.

  1. එක් එක් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවගේ රැකියා කොන්ත්‍රාත්තුව ඕමාන් සුල්තාන් රාජ්‍යයේ මිනිස්බල අමාත්‍යාංශයට මෙන්ම, එරට විදේශ කටයුතු අමාත්‍යාංශයට ද අවශ්‍ය සහතික කිරීම් සඳහා ඉදිරිපත් කිරීම.
  2. ඕමාන සුල්තාන් රාජ්‍යයේ මිනිස්බල අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සහතික කරන ලද රැකියා කොන්ත්‍රාත්තුව සත්‍යාපනය සඳහා මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඉදිරිපත් කිරීම.
  3. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සහතික කරන ලද රැකියා කොන්ත්‍රාත්තුව යැවීම මඟින්, අදාළ ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාව විදේශීය රැකියා නියුක්තිය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථාපිත ආයතනය වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
  4. එම ගෘහ සේවිකාව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමෙන් පසුව, “විරෝධතාවක් නොමැති බවට සහතිකයක්” (NOC) නිකුත් කරන ලෙස ඉල්ලා මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලිපියක් ඉදිරිපත් කිරීම.
  5. ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) සමඟ අනිවාර්ය ලෙස ලියාපදිංචි කිරීම තහවුරු කිරීමෙන් පසුව, මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “විරෝධතාවක් නොමැති බවට සහතිකය” (NOC) නිකුත් කරනු ඇත.
  6. ඕමාන සුල්තාන් රාජ්‍යයේ සේවය කිරීම සඳහා ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ට අවශ්‍ය රැකියා වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා, මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද “විරෝධතාවක් නොමැති බවට සහතිකය” (NOC) සමඟ රැකියා කොන්ත්‍රාත්තු රාජකීය ඕමාන් පොලිසියේ විදේශ ගමන් බලපත්‍ර සහ පදිංචිය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම.

මෙම අවශ්‍යතාවය සඳහා “විරෝධතාවක් නොමැති බවට සහතිකය” (NOC) තානාපති කාර්යාලය මඟින් නොමිලයේ නිකුත් කරන බව මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තවදුරටත් දැනුම් දෙයි. ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් “විරෝධතාවක් නොමැති බවට සහතිකය” නිකුත් කිරීමේ නව ක්‍රියා පිළිවෙත 2020 ඔක්තෝබර් 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

මෙම නව ක්‍රියා පිළිවෙත පිළිබඳව කාරුණිකව දැනුවත් වන ලෙසත්, ඉහත සඳහන් පියවර අනුගමනය කරන ලෙස ඔවුන්ගේ බඳවා ගැනීමේ නියෝජිතායතන හෝ තනි අනුග්‍රාහකයන්ගෙන් ඉල්ලා සිටින ලෙසත්,  ඕමාන සුල්තාන් රාජ්‍යයේ රැකියාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ගෙන් මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා සිටී. ඕනෑම තුන්වැනි රටක් හරහා පැමිණීමේ/සංචාරක වීසා‍ කාණ්ඩය යටතේ ඕමාන සුල්තාන් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබා දීමට පොරොන්දු වන වංචනික ආයතන/පුද්ගලයින්ට ගොදුරු නොවන ලෙස අනාගත ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන්ට උපදෙස් දීමට තානාපති කාර්යාලය අපේක්ෂා කරයි.

ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් අවිධිමත් ලෙස සංක්‍රමණය වීම/මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා, ඉහත සඳහන් ක්‍රියා පටිපාටියට දැඩි ලෙස අවනත වන ලෙසත්, මෙම තානාපති කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැකියා සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන සියලුම විදේශීය හා දේශීය බඳවා ගැනීමේ නියෝජිතායතන සහ තනි අනුග්‍රාහකයන්ගෙන් මස්කට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කාරුණිකව ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ කාන්තා ගෘහ සේවිකාවන්ගේ අවිධිමත් සංක්‍රමණ/මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම පිණිස මෙම නව ක්‍රියා පටිපාටිය හඳුන්වාදීම සඳහා  ලබා දුන් කාරුණික සහයෝගීතාව සහ නොසැලෙන සහය වෙනුවෙන් ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශ්වකරුවන්ට සිය අවංක අගය කිරීම ප්‍රකාශ කර ඇතැයිද මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

Visits: 47