ඇමති ජෝන්ගේ බෑනා හුන්නස් ෆෝල්ස් හොටෙල්ස් පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

හුන්නස් ෆොල්ස් හොටෙල්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ප්‍රභාත් මහේෂ් ඩි අල්විස් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් පවසයි. අල්විස් මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේය.

සමාගම පවසන ආකාරයට 2020 නොවැම්බර් 01 වැනිදා සිට මෙම ඉල්ලා අස්වීම බලාත්මක වී තිබේ. මෙම ඉ වත්වීම සිදුවන අවස්ථාව වනවිට අල්විස් මහතා සතුව සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොපැවති බවත් හුන්නස් ෆොල්ස් හොටෙල්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

ප්‍රභාත් මහේෂ් ඩි අල්විස් මහතා වත්මන් රජයේ රත්නපුර දිස්ත්‍රික් අමාත්‍යවරයෙකු වන ජෝන් සෙනෙවිරත්න (ඩබ්ලිව් ඩී. ජේ. සෙනෙවිරත්න) මහතාගේ දියණියක වන මහේෂා සෙනෙවිරත්න මහත්මිය හා විවාහ වී සිටියි. දේශපාලනයටද සම්බන්ධ මහතා සබරගමුව ප්‍රාදේශීය සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් බැංකුකරණය සහ මූල්‍ය පිළිබඳව අධ්‍යාපනය හදාරා ඇති අල්විස් මහතා ඔස්ට්‍රේලියාවේ ෆෙඩරේෂන් විශ්වවිද්‍යාලයෙන් උපායමාර්ගික කළමනාකරණය පිළිබඳ උසස් උපාධියක් හිමි කරගෙන තිබේ. ඒ මහතා පී ඇන්ඩ් එම් ප්ලාන්ටේෂන්ස් පෞද්ගලික  සමාගමේ නිර්මාතෘවරයා මෙන්ම සභාපතිවරයාද වෙයි.

එසේම කැන්ඩල් ලයිට් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම සහ ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම යනාදියේ නිර්මාතෘවරයාද ඒ මහතා වෙයි. ඊට අමතරව ඒ මහතා TAD ගෘප් ඔෆ් කම්පැනීස්හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන අතර, TAD Power පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයාද වෙයි.

Visits: 417