සාර්ථක ඉපැයීම් සහ බලාපොරොත්තු සමග ASPI ඒකක 6,000 පසු කරයි

කොරෝනා වසංගතයේ බලපෑමෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් සාර්ථක වූ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කළ ඉහළ ඉපැයීම් මෙන්ම රට තුළ කොරෝනා පාලනයට පනවා ඇති සීමා කිරීම් ලිහිල් කිරීමේ බලාපොරොත්තුද සමගින් අද (නොවැම්බර් 05) වැනිදා කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු වඩාත් සාර්ථක ලෙස නිමාවට පත් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහි ප්‍රතිඵල ලෙස අද දෛනි පිරිවැටුම රුපියල් බිලියන 4ද ඉක්මවීය.

ඒ අනුව මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,937.47ත් ඒකක 6,017.96ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,004.11 ක් බවට පත්විය. ඊයේ (නොවැම්බර් 04) දිනයට සාපේක්ෂව එය ඒකක 98.20 ක් එනම් +1.66%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව වැලිබල් වන් පීඑල්සී, කොමර්ෂල් බෑංකුව, හේලීස් පීඑල්සී සහ හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී ගනුදෙනු පිරිවැටුම සඳහා 6% ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 124ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 66ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී පීඑල්සී  LOLC  (+9.6), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+8.52), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+7.5),  හේලීස් පීඑල්සී HAYL (+7.44), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+6.6), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-2.27), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (-1.53),  කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-1.46),  ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-1.04)  සහ එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (-0.98) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,347.40 ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 04) දිනයට සාපේක්ෂව ඒකක 29.57 ක එනම් +1.28%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.28ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැ 04දා) වාර්තා කළ රුපියල් බිලියන 3.53ට සාපේක්ෂව 21%ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.62ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 8.25%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 32.72ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 341.95 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 309.2 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.39ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය නේෂන්ස් ට්‍රස් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.88කි. එසේම ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 131.35ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් බිලියන 1.39ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 33% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 891ක සහ රුපියල් මිලියන 602ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 213