අතුරු කොටස් බෙදීමක් හරහා HNB ඇෂුවරන්ස් කොටස් සංඛ්‍යාව වැඩි කරගනී

කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් වන HNB ඇෂුවරන්ස් පීඑල්සී සමාගම සිය සාමාන්‍ය කොටස් අතුරු බෙදීමක්  හරහා තමන් සතු කොටස් ප්‍රමාණය වැඩි කිරීමක් සිදු කර ඇතැයි පවසයි. ඊයේ දිනයේදී රැස්වුණු HNB ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ සඳහා වන අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව සමාගම සතු සාමාන්‍ය කොටසක්, කොටස් තුනක් ලෙස නැවත බෙදීම හරහා මෙම කොටස් සංඛ්‍යාව ඉහළ නංවා ගෙන ඇත. එහිදී මෙම අතුරු බෙදීමට පෙර පැවැති කොටස් සංඛ්‍යාව 50,000,000ක් බවත්, මෙම බෙදීමෙන් අනතුරුව එම කොටස් සංඛ්‍යාව 150,000,000 ක් බවට පත්ව ඇති බවත් HNB ඇෂුවරන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස්  හුවමාරුව වෙත දන්වා සිටියි.

කෙසේ වෙතත් මෙම බෙදීම හරහා කිසිදු ලෙසකින්වත් සමාගමේ දැනට ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් සිදු නොවන බවත් සමාගම සඳහන් කර සිටියි. එසේම මෙලෙස අතුරු බෙදීමක් නිසා ඇති වූ එම කොටස් සතුව ඒවායේ මුල් කොටස් සතු වූ ඡන්ද හිමි සහ බෙදාහැරීමේ හිමිකම් එලෙසින්ම පවතින බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

ලැයිස්තුගත සමාගමක් වෙළෙඳ පොළ තුළ සිය කොටස් ද්‍රවශීලතාව ඉහළ නංවා ගැනීම අරමුණු කරගනිමින් මෙලෙස කොටස් ප්‍රමාණය වැඩි කරගැනීමට ලක් කරයි. ඒ හරහා වැඩි පිරිසකට එම සමාගමේ කොටස් මිලදී ගැනීමේ අවස්ථාව ලබා දීම අරමුණ වී තිබේ. එහිදී දැනට පවතින කොටස් අතුරු බෙදීමක් හරහා  එවැන්නක් සිදු කළ හැකි බව කොටස් තැරැව්කාර සමාගම් පවසා සිටියි.

Visits: 294